කුණ්ඩසාලේ කොට්ඨාසයේ පශු වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු මස්කෙළියට මාරු කිරීමට විරෝධය දක්වා කිරි ගොවීන් පිරිසක් ඊයේ (13) පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
කිරි ගොවීන් 3000 ක් පමණ සිටින කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සේවය කිරීමට පශු වෛද්‍යවරු දෙදෙනෙකුත් නොසෑහෙන මොහොතක එක් වෛද්‍යවරයෙකු මාරු කිරීම මගින් කිරි කර්මාන්තය කඩා වැටීමේ අවධානමක් මතුව ඇතැයි ද උද්ඝෝෂණයට එක් වූ කිරි ගොවිහූ පැවසූහ.
කුණ්ඩසාලේ කොට්ඨාසයේ සේවය කළ පශු වෛද්‍යවරු දෙදෙනා අතරින් ස්ථානාමාරු කළ වෛද්‍යවරයා මේ වනවිට අසනීප නිවාඩු මත සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් පශු ක්ෂේත්‍රයට අදාළ සේවා රැසක් අඩාල වී ඇතැයි ද ඔවුහූ ප්‍රකාශ කළහ.
මධ්‍යම පළාතේ පශු වෛද්‍යවරු 11 දෙනෙකු සේවයෙන් ඉවත්ව විදේශ ගතවීම හේතුවෙන් එකදු හෝ පශු වෛද්‍යවරයෙකු නොමති කොට්ඨාසවලට පශු වෛද්‍යවරු යොමු කිරීම සඳහා ස්ථාන මාරු සිදුකළ බවත් එසේ ස්ථාන මාරු කළ වෛද්‍යවරු 07 දෙනෙකු අතරින් කුණ්ඩසාලේ පශු වෛද්‍යවරයා පමණක් එය පිළිනොගෙන සේවයට වාර්තා නොකර සිටින බවත් මේ සම්බන්ධව කළ විමසීමක දී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කුමුදුනී රාජනායක පැවසුවාය.
මධ්‍යම පළාතේ කිරි නිෂ්පාදකයට මස්කෙළියෙන් ලීටර් ලක්ෂ 02 ක පමණ දායකත්වයක් ලැබෙන බවත් මේ වනවිට එම අගය ලීයර් 10000 කින් පමණ අඩුවී තිබෙන බවත් ඇය කීවාය.







