දිනසේන රතුගමගේ –
ශ්රී ලංකාවේ සිට ඉන්දියාවට නීති විරෝධී ලෙස පුද්ගලයින් පස් දෙනෙකු බෝට්ටුවක ආධාරයෙන් රැගෙන යමින් සිටි මිනිස් ජාවාරම්කරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන 29 දා මන්නාරම පේසාලේ පොලීසිය වෙත බාර දී තිබේ.
ඉන්දියාවට පලා යමින් සිටි පුද්ගලයින් පස් දෙනාද නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ගමන් කළ යාත්රාවද නාවික හමුදා අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර අවුරුදු 29ක් වන පිරිමි පුද්ගලයෙක්, අවුරුදු 29 සහ 38 වයස් වල පසුවන කාන්තාවන් දෙදෙනෙක් අවුරුදු 08 සහ 09 වයස් වල පසුවන ගැහැණු ළමුන් දෙදෙනෙක් සිටින අතර, ඔවුන් මන්නාරම නානට්ටාන් ප්රදේශයේ පදිංචි ශ්රී ලාංකික පුද්ගලයන් බවට හඳුනා ගෙන තිබේ.
ජාවාරමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 32 සහ 37 ක් වන පේසාලේ ප්රදේශයේ පදිංචි කරුවන් බවටද හඳුනා ගෙන තිබේ.
උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම පේසාලේ ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කළ සෝදීසි මෙහෙයුමකදී මෙම සැක සහිත බෝට්ටුව දැක එය පරීක්ෂා කිරීමේදී සංක්රමණිකයින් පස් දෙනා හා ජාවාරම්කරුවන් දෙදෙනා හමු වී තිබේ.
ඉන්දියාවේ පවතින කොරෝනා උවදුර නිසා පුද්ගලයින් මේ අන්දමට අනවසරයෙන් ඉන්දියාව හා ශ්රී ලංකාව අතර ගමනා ගමන කටයුතු වල නිරත වීම ඉතා භයානක තත්ත්වයක් බව නාවික හමුදාව ප්රකාශ කරයි.