මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය අතර ඔහු ඉදිරි දින දෙක තුළ අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් හමුවීමට නියමිත බව හින්දු පුවත්පත වාර්තා කරයි. බලශක්තිය , ආයෝජන සහ සංචාරක හුවමාරු වැඩිදියුණු කිරීම හරහා ඔහු ඉන්දියාවෙන් තීරණාත්මක ආර්ථික ආධාර ලබා ගැනීමට ඉඩ ඇති බව කොළඹ නිල ආරංචි මාර්ග උපුටා දක්වමින් හින්දු පුවත්පත පෙන්වා දෙයි.
විදේශ සංචිත අර්බුදය , රුපියලේ අගය පහළ යාම ඇතුළු පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක සිටින පසුබිමක් තුළ ඉන්දිය රජය සමඟ පවත්නා මෙම සාකච්ඡා තීරණාත්මක එකක් වනු ඇති බව දේශපාලන සහ ආර්ථික විචාරකයන් විසින් මෙම සංචාරය හඳුන්වනු ලබන අතර ම මුදල් අමාත්‍යවරයාගේ මෙම සංචාරය සැලසුම් කර තිබුණද එයට නිශ්චිත දිනයක් පෙරේදා වන තෙක් නොතිබුණේ ඉන්දීය රජයේ ප්‍රධානීන් ගේ හමුවීම් වේලාවන් නිශ්චිතව තීරණය කිරීමේ ප්‍රමාදය නිසා බව වාර්තා වේ.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු ඔහුගේ පළමු නිල විදේශ සංචාරය මෙය වේ.