දේශීය ඩොලර් සංචිතවලට බලපෑමක් ඇති නොවන ආකාරයට වාහන ආනයන ක්‍රමවේදයක් පිළිබඳව වාහන ආනයනකරුවෝ යෝජනා කරති.
වාහනය ගෙන්වන රටේ දී එය භාවිත කළ කාලය දැනට පවතින වසර තුනේ සිට වසර හතක් දක්වා වැඩි දෙන්නේ නම් දේශීය බැංකු පද්ධතියේ ඩොලර් වෙන් කර නොගෙන අඩුමිලට ලබා ගත හැකි එම වාහන වෙනුවෙන් මෙතෙක් කිසිවකට ආයෝජනය නොකළ විදේශ ශ්‍රමිකයන්ගේ සැඟවුණු ඩොලර් භාවිත කළ හැකි බව ඔවුහු පෙන්වා දෙති.
එම සංගමයේ සාමාජික ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසන්නේ ලෝකයේ දියුණු රටවල් පවා අවුරුදු දහයක් පැරණි වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන බවය.
ඔහු මෙසේ ද පවසන්නේය.
“අද අපේ රටේ තියෙන නීතිය අවුරුදු තුනයි. ඒක අවුරුදු හත කෙරුවොත් සියයට හැත්තෑවක් විතර අඩුවෙන් වාහනයක් ගන්න පුලුවන්.
විදේස රටවල ගොඩක් ඉන්නවා ඩොලර් එක රුපියල් දෙසීය තුනට තියලා තියන නිසා ඒක ඉදිරියෙදි ගණන් යයි කියන බලාපොරොත්තුවෙන් පාවිච්චි නොකර තැන්පත් කරගෙන ඉන්න අය. අපි යෝජනා කරනවා අපේ බැංකු පද්ධතියට, අපේ මුදල් සංචිතවලට කිසිම බරක් නැතිව අඩු මිල වාහනවලට මුදල් ගෙවලා ඒ බදු මුදල් ලංකාවටත් එවන ක්‍රමයකින් නැවත මේ ක්ෂේත්‍රය පණගන්වන්න. මේ හැංගිච්ච මුදල් එළියට එන්නෙ. එතනින් එහාට ලොකු බදු ප්‍රමාණයක් රජයට එනවා.
මෙහෙම වාහන ගෙන්වන්න යම් ප්‍රමාණයකට ඉඩ දුන්නොත් මේ වනවිට රටේ තියන අනිසි මිල ගණන් පහළට එනවා. මේක කරන්න පුලුවන්. අඩුම ගානෙ මේක දකින්න අපව ගෙනත් සාකච්ඡා කරන්න.“ ඔහු කියන්නේය.
වර්ෂ 2020 මාර්තුවේ සිට වාහන ආනයනය නතර කළ අවස්ථාවෙන් දෙවසරක් යනවිට ලක්ෂ දහ අටකට පමණ අලෙවි වූ ඇල්ටෝ මෝටර් රථයක් රුපිලයල් ලක්ෂ තිස් පහකටත්, ලක්ෂ තිහක් පමණ වූ වැගන් ආර් රථයක් ලක්ෂ හැටකටත්, ලක්ෂ තිස් පහක් පමණ වූ ඇක්වා රථයක් ලක්ෂ හැත්තෑවකටත් අලෙවි වෙමින් තිබේ.
වාහන ආනයන තහනම නොතිබුණු අවධියේ යතුරුපැදියේ සිට සියලුම වාහන ගණනය කළහොත් වාර්ෂිකව ලක්ෂ පහක් පමණ වාහන රට තුළට ආනයනය කර තිබිණි.







