ලලිත් චාමින්ද
-
සමහරු මාරු නොවී අවුරුදු 20ක් එක තැන… රජයේ නිලධාරීන් රටේ ඕනෑම තැනක සේවයට බැඳී සිටිනවා… මාරු කළේ විගණන වාර්තාත් බලලා…බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කියයි!
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විවිධ ශ්‍රේණිවලට අයත් නිලධාරින් සඳහා 2025 වර්ෂයට අදාළව සිදුකොට ඇති වාර්ෂික ස්ථාන මාරුකිරිම් ඉතා අවධිමත්ව හා අසාධාරණ ලෙස සිදුකොට ඇති බවට ස්ථාන මාරුවිම් ලබා ඇති නිලධාරින් චෝදනා කරයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ස්ථාන මාරුමණ්ඩලය විසින් විවිධ ශ්‍රේණිවලට අයත් නිලධාරින් 1585 දෙනෙකුට එකවර ස්ථානමාරුවිම් ලබා දි ඇති පළමු අවස්ථාව මෙය බවද එම නිලධාරින් පවසයි.
වාර්ෂික ස්ථාන මාරුවිම් ලබාදිමේ දි නිලධාරින් කැමති ස්ථාන දෙකක් නම්කොට එවන ලෙස මාරු මණ්ඩලය විසින් දැනුම් දි තිබුනද මාරුවිම් ලැබි ඇති නිලධාරින් වැඩි පිරිසකට ස්ථාන මාරුවිම් ලබා දි ඇත්තේ තමන් ඉල්ලුම කළ ස්ථානවලට නොවන බවද ඔවුන් පවසයි.
කිසිදු හේතුවක් නොමැතිව ඇතැම් නිලධාරින් කිලෝමිටර් 100 සහ 180, වැනි ඉතා දුරබහැර පිහිටි බන්ධනාගාරවලට මාරුකොට ඇති බවද ඔවුහු පෙන්වාදෙති. මෙම තත්ත්වය නිසා තමන් ගැටලු රැසකට ලක්ව ඇති බව සදහන් කරණ එම නිලධාරින් අසාධාරණ ලෙස ලබා දි ඇති මාරුකිරිම් වහාම අවලංගුකොට තමන්ට සාධාරණත්වය ඉටුකරණ ලෙස රජයෙන් ඉල්ලා සිටියි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තනතුරු 79කට අදාළව නිලධාරින් 1,717ක පුරප්පාඩු පවතින පසුබිමක මේ අයුරින් නිලධාරින් මාරුකිරිම නිසා බන්ධනාගාර කටයුතු පවත්වාගෙන යාමේ දි ගැටලු රැසකට මුහුණදිමට සිදුවිය හැකි බවද එම නිලධාරින් පවසයි
ඇතැම් බන්ධනාගාරවල නිලධාරින් පනහ, අසුව එකවර මාරුකොට ඇති බවත් ස්ථාන මාරු මණ්ඩලයේ නිලධාරින්ගේ ඕනෑ එපාකම් මත රජය අපහසුතාවයට පත්කිරිම සදහා මෙකි ස්ථාන මාරුවිම් ලබාදි ඇති බවද එම නිලධාරින් කියයි. මේ පිළිබද අධිකරණ ඇමතිවරයාගේ අවධානය කඩිනමින් යොමුවිය යුතුව ඇති බවද ස්ථානමාරුව්ම් ලබා ඇති නිලධාරින් ප්‍රකාශ කරයි.
මේ පිළිබද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බි දිසානායකගෙන් අප කළ විමසුමකදි ඔහු මෙසේ කිවේය.
“වාර්ෂික ස්ථාන මාරුකිරිම් යටතේ තමයි මෙම නිලධාරින්ට ස්ථානමාරුකිරිම් ලබාදී තියෙන්නේ.ඒ අයට අභියාචනාකරන්න අවස්ථාව තියෙනවා. ස්ථාන මාරුවිම් ලබාදිමේ දි විගණන වාර්තා මගින් පෙන්වා දි ඇති කරුණුද සැලකිල්ලට ගත්තා. “
“ඕනෑම රජයේ නිලධාරියෙකු ඕනැම ස්ථානයක සේවය කිරිමට බැදි සිටිනවා. ඇතැම් නිලධාරින් වසර විස්සකට වඩා එක් ස්ථානයක සේවය කරණ අය. ඉල්ලපු ස්ථානවලටම ඇතමුන්ට මාරුවිම් දෙන්න බැහැ. යම් ගැටලුවක් තියෙනවානම් අභියචනා මණ්ඩලයට අභියාචනා ඉදිරිපත්කොට විසඳුමක් ලබා ගත හැකි බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.







