පෞද්ගලික ව්‍යාපාරවල ආදායම් විගණනය කරන පෞද්ගලික විගණන ආයතන නියාමනය කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව පවතින බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ඉලක්කගත රාජ්‍ය ආදායම් වර්ධනයක් සඳහා ආදායම් බදු ඉහළ නන්වා ගැනීම වෙනුවෙන් මේ වනවිට සිදු කරගෙන යන ප්‍රතිසංස්කරණවලට එයද ඇතුළත් කිරීම පිළිබඳව මෙලෙස අවධානය යොමු ව ඇත්තේ මෙම ආයතන හරහා බොහෝ ව්‍යාපාරිකයන් සිය ආදායම් සත්‍ය තත්ත්වය සඟවා ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරන නිසා බවට ප්‍රකාශ වීමත් සමඟය.
පසුගියදා පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ආදායම් යෝජනා පිළිබඳව පැවැති විවාදයේදී කරුණු දැක්වූ පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ද රාජ්‍ය ආදායම් එකතු වීම වැළක්වීමට මුල්වන මෙම වරලත් ගණකාචිකාරී ආයතන සියල්ලට පෙර නියාමනය කළ යුතු බවට අවධාරණය කළේය.
ඔහු එහිදී පැවසුයේ මෙරට ප්‍රධාන පෙළේ වරලත් ගණකාධිකාරී ආයතන 27ක් පවතින අතර මෙම ආයතන නියාමනය කිරීම සඳහා නීතියක් ගෙන ආ යුතු බවය. ඔවුන් ව්‍යාපාරවල සැබෑ ආදායම සඟවා බොරු අඩු ආදායමක් පෙන්වන බවටද අලුත්ගමගේ චෝදනා කළේය.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් මූලික පියවරක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් සහ වෘත්තීය විගණක සේවාවලට අදාළ වෘත්තීය ආයතන සමඟ මූලික වශයෙන් සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමට අදහස් කරන බව මෙම ආරංචි මාර්ග ලංකාසරට තවදුරටත් පැවසීය.







