පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පතට කතානායකවරයා අද පාර්ලිමේන්තුවේ දී අත්සන් තැබීමත් සමග එය රටේ නීතියක් ලෙස සම්මත වුනේය.
මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණේ පසුගිය 11 වැනිදා බ්‍රහස්පතින්දාය.
මෙම පනත නීතියක් ලෙස බලාත්මකවන අද දින සිට පුද්ගලික අංහයේ සේවක සේවිකාවන්ට තමන් රාජකාරි කළ සේවා අයතනයේ තමන්ගේ වයස අවුරුදු 60ක් වන තෙක් රාජකාරී කිරීමට හිමිකම ලැබේ.
නමුත් මෙය මුලින්ම ක්‍රියාත්මක කිරීමේදී යම් අදියර කිහිපයක් යටතේය. එය සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නෛතික රාමුව තුළම තිබේ. ඒ අනුව මේ වන විට වයස අවුරුදු 55 ක සිටින සේවකයෙකුට අවුරුදු 57 දක්වා සේවය කිරීමට අවස්ථාව සැලසේ.
මේ වනවිට වයස අවුරුදු 53ත් 54ත් අතර පසුවන අයකුට වයස අවුරුදු 58ක් දක්වා සේවය කිරීමට අවස්ථාව ලබා දී තිබේ. දැනට වයස අවුරුදු 52ක සිටින අයට අවුරුදු 59ක් දක්වා සේවය කළ හැකිය. එසේම 52ට අඩුවෙන් සිටින සෑම කෙනකුටම වයස අවුරුදු 60ක් දක්වා සේවය කළ හැකි වේ.
සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධව ගැටලුවක් මේ තත්වය තුළ ඇතිවන්නේ නැත. අර්ථ සාධක අරමුදල ලබා ගැනීම සඳහා පුද්ගලයෙක් අදාළ ආයතන සේවයෙන් විශ්‍රාම යා යුතුය.
කැමති පුද්ගලයෙකුට වයස අවුරුදු 55 -60 අතර වයසකදී සේවයෙන් විශ්‍රාම ගොස් අර්ථසාධක අරමුදල ලබා ගත හැකිය.
යමකුට අවුරුදු 55න් මේ මුදල ලබා ගත යුතු නම් කළ යුත්තේ සේවයෙන් විශ්‍රාම යෑමය.
නමුත් සේවා යෝජකයා කොන්ත්‍රාත් පදනම මත රැකියාව යළි පිරිනැමීමට කැමති නම් ඔහුට හෝ ඇයට වයස අවුරුදු 60 වන තෙක් සේවය කළ හැකිය.