මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව ගල්විහාරයේ ආසන්නයේ, මදු අටවා ආරක්ෂිත ශීරපායි සත්වයෙකු වන තිත් මුවෙකු මරා ලක්‍ෂඋයන ප්‍රදේශයේ පාලු ඉඩමක මස් කරමින් සිටි තිදෙනෙකු ගල්විහාර පොලිස් මුරපලේ නිලධාරින් සහ සහ පොළොන්නරුව වන ජීවි නිලධාරීන් විසින් සිදුකල වැටලීමකදී අත් අඩංගුවට ගෙන අද (23) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකරුවන් පොළොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 68, 66, හා 52 යන වයස් වල පසු වන්නන් බව පොළොන්නරුව වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි සහකාර එන්.සී.ඒ.එස්.නාලක කීය.
මෙම සැකකරුවන් ගල් විහාර පූජා භූමියේ සැරිසරන මුවන් දඩයම් කරමින් මස් කර ප්‍රදේශයේ හෝටල් වලට අලෙවි කරන බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී තිබිනි.
සැකකරුවන් සතුව තිබූ, කම්බි මදු, මුව මස්, තියුණු ආයුධයක් මෙන්ම දඩයම් කිරීමට යොදාගත් උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව අඩවි වනජීවි නිලධාරීහු සඳහන් කළහ.
ගල්විහාර පොලිස් මුරපොළේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටි.ඩබ්ලිව්.ඩි.සිරිමාන්න ඇතුළු පොලිස් නිලධාරින් මෙන්ම පොළොන්නරුව අඩවි වනජීවී කාර්යාලයේ අඩවි සහකාර, අමිත ශ්‍රී නාලක, එම්.ආර්.ප්‍රියදර්ශන, වන සත්ව නියාමක උමා සුදන්, ක්ෂේත්‍ර සහයක ඩී.එම්.ආර්. දිසානායක, ජේ.ඒ.එස්.ට්. ජයකොඩි යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.
මුවාගේ සිරුර විනාශ කිරීම සඳහා පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා මෙහිදී වනජීවි නිලධාරීන්ට නියෝග කළේය.
පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ තිදෙනාට රුපියල් එක් ලක්ෂහතළිස් දාහක දඩ මුදලක් ගෙවන ලෙසට ද පොළොන්නරුව මහේස්ත්‍රාත් යු.ඒ.එස්.කේ.වික්‍රමරත්න නියෝග කළේය.







