වසර 60 සම්පූර්ණ වූ රාජ්‍ය නිලධාරින්ට සේවා දිගු ලබා නොදීම සම්බන්ධව රජය දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අවස්ථාවක පොලිස් මුළු දෙපාර්තමේන්තුවේ එකම සේවා දිගුව වශයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන්ගේ පුද්ගලික සහකාර ලෙස සේවය කරන විශ්‍රාමික පොලිස් අධිකාරී ඩීඩීආර් දසනායක වෙත පොලිස් කොමිසම විසින් විශේෂ සේවා දිගුවක් ලබා දීම පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි විසංවාදයක් ඇති කර තිබේ.
පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දුගේ අත්සනින් යුතුව ලබා දී ඇති එම සේවා දිගු නිර්දේශයේ දක්වා ඇත්තේ පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කර ඇති කරුණු සලකා බලා එම සේවා දිගුව ලබා දුන් බවය.
එහෙත් පොලිස්පතිවරයා විසින් මෙම නිලධාරියා සඳහා එවැනි සේවා දිගුවක් නිර්දේශ කර නැති බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සනාථ කරයි.
එමෙන්ම මෙම විශ්‍රාමික පොලිස් අධිකාරීවරයා 2022 දෙසැම්බර් මස 31 වැනිදා දක්වා සේවය කර ඇත්තේ විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව ලබා ගත් සේවා දිගුවකින් බව ජාතික පොලිස් කොමිසම විසින්ම ලිඛිතව සඳහන් කර ඇත.
එසේ තිබිය දී බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාරවරයාට සේවා අවශ්‍යතාවය මත සිය පොලිස් දිවියේ දෙවැනි සේවා දිගුව ලැබෙන්නේ 2023 වර්ෂය වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ එකම සේවා දිගුව ලද නිලධාරියා ලෙස වීමත් ඊට පොලිස්පතිගේ නිර්දේශය නොලැබී තිබියදී වීමත් විශේෂ බව පොලිස් මූලස්ථානය කියයි.
මෙම විශ්‍රාමික පොලිස් අධිකාරීවරයාට උක්ත සේවා දිගුව නිර්දේශ වන්නේ පොලිස්පති නිර්දේශය ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වෙත සේවා දිගුව ලබා දීම ජාතික පොලිස් කොමිසම විසින් ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක බව ද වාර්තා වේ.
ඊට අමරතව තවත් උසස් පොලිස් නිලධාරීන් කීප දෙනෙක් ද සිය සේවා දිගු අයදුම් කර තිබුණත් පොලිස්පති නිර්දේශය මෙන්ම පොලිස් කොමිසමේ නිර්දේශය ද ලැබී නැති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.