පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නගේ නිල නිවසේ දොර බිඳගෙන ඊයේ (10) ඔහුගේ නිවසට ඇතුළුවෙන මැර ශිෂ්‍ය පිරිස සම්බන්ධ සීසීටීවී දර්ශන නිකුත් වී තිබේ.
සරසවිය තුළ පිහිටි නිල නිවසට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයාගේ පුතා පැමිණෙන වාහනයේ ගැටුණු යතුරු පැදි දෙකක් අනතුරට ලක් වූ බවත් ඔහු ඒ අවස්ථාවේ බීමත්ව සිටි බවත් කියමින් මෙම සිසු පිරිස ඔහුගේ පුත්‍රයාට අමානුෂික ලෙස පහර දී ඇත.

සිද්ධියෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පේරාදෙණිය රෝහලටත්, ඔහුගේ පුතා මහනුවර මහ රෝහලටත් ඇතුළත් කර තිබිණි.
ප්‍රතිකාර ගෙන නිවසට පැමිණි සිටි මහාචාර්යවරයා අද සවස මාධ්‍යයට පවසා තිබුණේ වසර 43ක සරසවි ගුරු ජීවිතයේ දි මෙවැනි අත්දැකීමකට තමන් මුහුණ නුදුන් බවය. ලබන මස විශ්‍රාම යෑමට සිටින තමන්ට එල්ල වූ මෙම ප්‍රහාරය නිසා වේදනාව දැනෙන්නේ ශරීරයට නොව හිතට බව ඔහු පැවසුවේය.
මේ සිසුන් නොව මැරයින් බවත් සරසවිවල පරිපාලනයට බාධා කරන මෙම මැරයින්ගෙන් සරසවි ගලවා ගත යුතු බවත් ඔහු පැවසුවේය. මහාචාර්යවරයෙකුට පහර දි මේ සිසුන් විසින් පෙන්වා දුන්නේ අනාගතය පිළිබඳ අසුබ ලකුණක් බව ඔහු කීවේය.
මේ වනතුරුත් සිද්ධිය සම්බන්දව කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැත. පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පහත දැක්වෙන්නේ නිල නිවස බිඳගෙන මැර සිසුන් එම නිවසට ඇතුළුවන ආකාරය ය.







