තුවාල ලැබූ 6 හැවිරිදි සිඟිති දැරියක් ඉරිදා යුක්රේනයේ මාරිපො (Mariupo) හි රෝහලකට රැගෙන විත් තිබිණි. පුංචි එකීගේ අම්මා ගිලන් රථයෙන් පිටත හඬා වැටුණාය. ඇයගේ පියා ඇය අසලය. ඔහු ලේ වලින් නැහැවී ගොසිනි.
ඒ රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයක රුදුරු ඵලයකි. ඒ කාලකණ්ණි මාරක ප්‍රහාරය එල්ලවන විට පුංචි එකී සිටියේ සිය දෙමව්පියන් සමග ගිනිකොණ දිග වරයා නගරයට මායිම් වූ සුපිරි වෙළෙඳසලකය.
සියල්ල සිදුවූයේ නොසිතූ නිමේෂයකය. ෂෙල් වෙඩි ප්‍රහාර සුපිරි වෙළෙඳසල කුඩු කර තිබිණි. තුවාල ලද සිඟිත්තිය සමග ලේ වෑහෙන දෙමව්පියන් රැගත් ගිලන් රථය රෝහල් භූමියට ඇතුළු වූයේය. රෝහල් වෛද්‍ය කණ්ඩායම් ගිලන් රථය වෙත දිව ආහ.
“ඇයව එළියට ගන්න! ඇයව එළියට ගන්න! අපට එය කළ හැකියි!” රෝහල් සේවකයෙක් කෑගැසුවේය.
වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇඳක් මත තබා ඇයව රෝහල තුළට ගෙනගියේය. වෛද්‍යවරු සහ හෙදියන් ඇයව පණ ගැන්වීමේ සටන දියත් කළහ.
එහෙත් ඔවුහු අපොහොසත් වූහ. ඒ අසරණ ළදැරිය අවසන් හුස්ම පිට කළාය.
ඇයට ඔක්සිජන් ලබා දෙමින් සිටි වෛද්‍යවරියක් කාමරයේ සිටි ඇසෝසියේටඩ් ප්‍රෙස් වීඩියෝ මාධ්‍යවේදියෙකුගේ කැමරාව දෙස බැලුවාය.
“මේ දරුවගෙ ඇස් පුටින්ට පෙන්වන්න,”
(සීඑන්එන්)