රජයේ ඩිජිටල් තාක්ෂණික ක්‍රියාවලින්ගේ මුලපිරිමෙහි මහ මොළකරු සිය පුතු සජීබ් වසේඩ් වුවත් ඔහු දේශපාලනයට සම්බන්ධ වෙනවාද යන්න ඔහුගේ හා රටේ ජනාවගේ තීරණයක් වන බව බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා පවසයි.
“එයා දැන් වැඩුණු මිනිහෙක්. එයා මොනවද කරන්නේ කියන එක එයා තීරණය කරයි.. ඒත් එයා දැනටමත් රට වෙනුවෙන් වැඩ කරනවා.. ඩිජිටල් බංග්ලාදේශයක් වෙනුවෙන් අපි කරන සියලුම කටයුතුවල අදහස මගේ පුතාගේ.. එයා මට උදව් කරනවා ඩිජිටල් තාක්ෂණය වෙනුවෙන්.. ඒත් එයාගේ කිසිම අදහසක් නෑ පක්ෂයේ හෝ අමාත්‍යංශයේ තනතුරක් ලබා ගන්න..”
සජීබ්ගේ කටයුතු සම්බන්ධයෙන් ‘ඒඑන්අයි’ පුවත් සේවය හා සාකච්ඡාවකට එකතු වෙමින් අගමැතිනිය සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් පළ කරන අගමැතිනිය පැවසුවේ පක්ෂයේ රැස්වීමක් අතරතුරේදී සජීබ් පක්ෂයට සහභාගී වෙන්නේදැයි පැනයක් පැන නැඟුණු බවත් ඊට පිළිතුරු දීමට ඇය සජීබ්ව කැඳවූ බවත්ය. එහිදී තමා පක්ෂයේ කිසිදු තනතුරක් වෙනුවෙන් කටයුතු නොකරන බවත් අම්මාට සහයෝගය දෙමින් රට වෙනුවෙන් කටයුතු කරන බවත් ඔහු සඳහන් කර තිබිණි. කෙසේ වෙතත් සියල්ල තීරණය වන්නේ ජනතාව මත බව ඇය වැඩිදුරටත් පවසා තිබිණි.
අගමැතිනිය දරු දෙදෙනෙකුගේ මවක් වන අතර ඇගේ වැඩිමහල් දරුවා සජීබ් වේ. බාල දියණිය සයිමා වසීඩ් ය.







