2023 ඔක්තෝබර් 20 දින පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදු වූ සිදුවීම පිළිබඳ සොයාබැලීමට කථානායකවරයා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව කමිටු සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් අද (14) කථානායකවරයා වෙත භාර දුන්නේය.
2023 ඔක්තෝබර් 20 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඩයනා ගමගේ හා රෝහණ බණ්ඩාර හා සුජිත් සංජය පෙරේරා අතර සිදු වූවා යැයි, තමා වෙත දෙපාර්ශ්වයෙන් ම ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳව විමර්ශනයකොට වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කිරීම සඳහා නියෝජ්‍ය කථානායකතුමාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව කථානායකවරයා විසින් පත් කරන ලදී.
ඒ අනුව උක්ත කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස චමල් රාජපක්ෂ, (වෛද්‍ය) රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක, ඉම්තියාස් බාකීර් මාකාර්, නීතිඥ තලතා අතුකෝරල සහ රාජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) සීතා අරඹේපොල කටයුතු කළහ.
කමිටුව සිව් වතාවක් රැස්වූ අතර සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයන් තිදෙනාට අමතරව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිද්ධිය සම්බන්ධව සාක්ෂි විමසීම සඳහා කමිටුව වෙත කැඳවා තිබිණි.
කමිටු වාර්තාව භාර දීමේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න ද එක්ව සිටියේය.







