දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ චෙන්නායි සිට යාපනයට පැමිණි ගුවන් යානා දෙකක් අයහපත් කාලගුණික තත්ත්වය නිසා ගොඩ බෑමට නොහැකිව 14 දා ආපසු චෙන්නායි බලා පියාසර කොට තිබේ.
මෙම යානා දෙකේ මගීන් 67 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ව ආපසු චෙන්නායි බලා රැගෙන යාමෙන් පසුව ඔවුන්ට අවශ්‍ය පහසුකම් සියල්ල සපයා දීමට අදාල ගුවන් සේවා සමාගම පියවර ගෙන ඇත.
යාපනයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දැඩි අඳුරු ස්වරූපයකින් යුත් අහසක් මේ දිනවල දැක ගැන්නට ලැබෙන අතර වර්ෂාව මැද අධික සුලං සහිත තත්ත්වයක්ද වර්ධනය වී ඇත.
මේ තත්ත්වය මත මේ සතියේදී චෙන්නායි සිට යාපනයට ගුවන් ගමන් පවත්වා ගෙන යාමට නොහැකි වුවහොත් දැනට සැලසුම් කොට ඇති සියලු ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගන්නා බව චෙන්නායී ගුවන් තොටුපල නිවේදනය කොට ඇත.







