කිර්ති ප්‍රනාන්දු –
ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ආරාධනාවකට අනුව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් රෝමයේ ශාන්ත පීතර දෙව් මැදුරේ දී පැවැත්වෙන විශේෂ දේව මෙහෙයකට එක්වීම සඳහා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් 35 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම අද රෝමය බලා පිටත් වූ බව සිරිල් ගාමිණී පියතුමා ලංකාසරට පැවසීය.
සිරිල් ගාමිණි පියතුමා පැවසුවේ කාදිනල් හිමි සහ ශුද්ධෝත්තම පාප් වහන්සේ අතර සිදුවූ හමුවකින් අනතුරුව පාප්වහන්සේගේ ආරාධනාව මත සංවිධානය වන මෙම දේව මෙහෙයෙන් අනතුරුව මෙම ස්ථානයට පැමිණෙන පාප් වහන්සේ වින්දිතයන්ට සෙත් පැතීම සිදුවන අතරම විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටත් ඉඩකඩ ඇති බවය.
සිරිල් ගාමිණි පියතුමා කීවේ මෙසේය.
“පසුගිය දා ශුද්ධෝත්ම පාප්වහන්සේ කාදිනල්තුමාට යෝජනා කරලා තිබුනා පාස්කු ප්‍රහාරයෙන් තුවාල වෙච්චි, තමන්ගේ දරුපවුල් අහිමි වෙච්චි වින්දිතයන් සමග රෝමයට ඇවිත් රෝමයේ ශාන්ත පීතර දෙවස්ථානයේ දිව්‍ය පූජාවක් පවත්වන්න කියලා. එය පාප්වහන්සේ කළ යෝජනාවක්.
ඒ අනුව තමයි කාදිනල් තුමා පාස්කු ප්‍රහාරයෙන් තුවාල වුණු, අංග විකල වුණු වින්දිතයන් 35 දෙනෙක් සහ පියතුමන්ලා කීප දෙනෙක් එක්ක රෝමය බලා පිටත් වුනේ.
රදගුරු තුමන්ලා පිරිසක් ද මේ ගමනට සහභාගී වුණා.
මෙම පූජාව ලබන 25 දා තියනවා. ඊට ආරාධනා කරනවා ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයනට. අප බලාපොරොත්තු වෙනවා ඉතාලියෙ ඉන්න ශ්‍රී ලාංකිකයන් තුන් දහසක් පමණ මේ පූජාවට සහභාගී වෙව් කියලා.
පූජාවෙන් පස්සෙ ශුද්දෝත්තම පාප් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා උන්වහන්සේ එනවා කියලා මේ වින්දිතයින් හමුවෙලා ආශීර්වාද කරන්න.
ශුද්ධෝත්තම පාප් වහන්සේ එතනදි කතාවක් කරයි.
අද අලුයම 05.02 ට කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්.- 659 දරන ගුවන් යානයෙන් කාදිනල් තුමා ඇතුළු පිරිස කටුනායක ගුවන් තොටුපළෙන් දෝහා බලා පිටත්ව ගිය බවත් මෙම පිරිස එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලියේ වතිකානුව වෙත පිටත්ව යාමට නියමිත බවත් මාධ්‍ය වාර්තා කළේය.
මීට අමතරව පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් සහිත තවත් කණ්ඩායමක් උදෑසන 10.05 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇත මෙම පිරිස ද එතැන් සිට ඉතාලියේ වතිකානුව බලා වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිතයි.







