කිසිදු ක්‍රිඩා සංගමයක නිලතල දැරීමට සුදුසු නොවන බවට පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව පවා නිර්දේශ කළ පුද්ගලයකු වන ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සේවා දිගුවක් ලබා දී ඇති බවත් ඔහු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය පා කිරීමට තීරණය කිරීමට දින දෙකකට පෙර රුපියල් කෝටි 7ක් පමණ පාඩු කරමින් ඩොලර් ලක්ෂ 7ක් කිසිදු අනුමැතියකින් තොරව සංගම් ගිණුමෙන් ලබාගෙන ඇති බවත් සමගි ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ අද (26) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඩොලරයේ අගය ට සාපේකෂව රුපියලේ අගය නිදහස් කරන බව දින දෙකකට පෙර මේ සභාපතිවයා දැනගත්තේ කෙසේද යන්න පිළිබඳව අද පාර්ලිමේන්තු සැසියේදී ප්‍රශ්න කළ මන්ත්‍රිවරයා ඇමතිවරු බලධාරීන් සහ නිලධාරීන් එක්ව සොරකම් කරන බවට එය හොඳ උදාහරණයක් බවද සඳහන් කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ හේෂා විතානගේ මන්ත්‍රිවරයා පසුගිය වසරේ නොවැම්බර් මාසසේ පැවති සිව්කොන් පාපන්දු තරගාවලියක් වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතාගේ මාමණ්ඩියට අයත් සමාගමට සංගමයේ මුදල්වලින් රුපියල් මිලියන 170ක් ගෙවා ඇති අතර එම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව අදටද කිසිවකු නොදන්නා බවද ප්‍රකාශ කළේය. ලෝක පාපන්දු සම්මේලනයේ ලේකම්වරයාව සිටි ජස්වර් නැමති මෙම සභාපතිවරයා නිලවරණයෙන් පත්ව ඇතත් ඔහුගේ නිල කාලය අවසන් වූ විට ඔහු සම්බන්ධයෙන් චෝදනා පවතින බව දැන දැනත් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සේවා දිගුවක් ලබා දී ඇති අතර එය දෙවන වරටත් දීර්ඝ කර ඇති බවද පෙන්වා දුන්නේය.
“ මේ දවස්වල ලෝක පාපාන්දු ශූරතාව පැවැත්වෙනවා. අපේ රට ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉන්නේ 207වැනි තැන. අපට වඩා පහළින් ඉන්නේ ලෝකයේ ලක්ෂයක්වත් ජනගහණයක් නැති කුඩා රටවල් ටිකක්. අපේ පාන්දු දියුණුවට කර තිබෙන්නේ කුමක්ද? සිදුවුණේ ලෝක පාපන්දු සම්මේලනයෙන් දෙන දැවැන්ත මුදල විනාශ වීම පමණයි.
මෙම සභාපතිවරයා ට කිසිදු ක්‍රිඩා සංගමයක නිලයක් දැරිය නොහැකි බවට කෝප් කමිටුව පවා නිර්දේශ කර තිබෙනවා. ඒ වගේම වංචා කල පුද්ගලයකු බව පොලිස් විමර්ශණවලදීත් තහවුරු වී තිබෙනවා. “ යයිද මන්ත්‍රිවරයා සඳහන් කළේය.







