බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ප්‍රේමසීලි අම්මාගේ කතාව හෙවත් දශක ගණනක් තිස්සේ ගලා හැලෙන ඉල්මහේ අම්මාවරුන්ගේ නොවියලෙන කඳුලුවල වේදනාව…

by editor
නොවැම්බර් 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉෂංඛා සිංහආරච්චි – 

තම සමීපතමයන් අතුරුදහන් කිරීමට එරෙහිව ඒ වෙනුවෙන් යුක්තිය ඉල්ලා තිස් හය වසක් පුරා අරගල කරන දකුණේ අම්මාවරුන්ගේ කතාව ඉතාමත් ශෝචනීය වේ. විවිධ දේශපාලන පක්‍ෂ  හා සංවිධානයන්ට මැදිව විටෙක පසුබෑමට ලක්වුවද  තම සමීපතමයන් වෙනුවෙන් සාධාරණය පතා දියත් වූ සටන තවමත් ඉදිරියට ඇදෙමින් තිබේ. මරා දැමුණු හා අතුරුදහන් කළ සිය සහෝදර සහෝදරියන් වෙනුවෙන් ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් යුක්තිය හා සාධාරණත්වය ඉටුකරනු ඇතැයි දකුණේ අම්මාවරු සිටින්නේ අපේක්‍ෂා සහගතවය. ප්‍රේමසිලි අම්මාගේ කතාව එවැනිම  වූ  දහසක් අම්මාවරුන් අතරින් එක් කතාවක් පමණි.

  “එක පාරටම හමුදාව ඇවිත් ගෙට කඩා පනින කොට  පුතාලා දෙන්නයි,දුවයි, මහත්තයයි,මමයි රෑට කෑම කාලා නිදාගන්න සුදානමින් හිටියේ. ගෙයින් එළියට ගත්තු මහත්තයයි, මාවයි බිල්ලෙක් ඉස්සරහට අරන් ගියා. බිල්ලා ඔළුව වැනුවා. නැගපිය කියලා   ඇඳි වත පිටින්ම අපිව  කැබ් එකක දා ගත්තා. ටික දුරක් ගිහින් කැලෑ මන්ඩියක නතර කරලා අපේ ඇස් රෙදි කෑල්ලකින් බැන්දා. දැන් කිසිම දෙයක් පේන්නේ නැහැ. කොහෙට හෝ අරන් ගිහින් දැම්මා, වාඩි කෙරෙව්වා. මට දැනෙනවා මහත්තයාත් මගේ ලඟින් ඉන්නවා. පස්සේ මහත්තයාට හොඳටම ගහනවා, මට ඇහෙනවා එයා කෑගහනවා. ජේ.වී.පී කාරයෝ ඉන්න තැන් කියාපිය කියලා තමයි ගැහැව්වේ. ඒ වෙලාවේ එයා  කෑගහලා කියනවා අනේ මහත්තයෝ අපි දන්නේ නැහැ කියලා. නැහැ කියද්දීත් ගහනවා. මෙහෙම ගහලා ගහලා ඉවර වෙලා දැන් මු බාපන් කියලා කියනවා මට ඇහුනා. ඒ කියන්නේ මහත්තයාට එල්ලලා ගහලා තියෙන්නේ. මේ ගෑනිවත් එල්ලපන් කිව්වා. ඒ කියන කොටම මගේ කකුල් දෙකෙන් උඩට ඇදලා එල්ලුවා.“

ජිවිතේ සැන්දෑ සමයට එළඹ සිටියද තිස් හය වසක් පුරා යුක්තිය වෙනුවෙන් සටන් වදින දිරිය කතක් වූ  හැත්තෑ දෙහැවිරිදි එස්.එම්.ප්‍රේමසිලි අම්මා  හම්බන්තොට සිට කොළඹ පැමිණ සිටියේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ඇරයුමටය. තවත් බොහෝ දිරිමත් අම්මලා රැසක් අතරින් ප්‍රේමසිලි අම්මා  88/89 භීම සමයේ වධකාගාර තුළ දුක් විඳිමින් සිට යන්තමින් දිවි ගලවා ගත් අයුරු ආවර්ජනය කරන්නට වුවාය. අත්විදින්නට වූ දුක් ගැහැට නිසාම  ඇය ශක්තිමත්ව සිටියාය. 

පහළොස් හැවිරිදි  වැඩිමහල් පුත්‍රයාත්, දාහතර හැවිරිදි දියණියත්, දොළොස් හැවිරිදි බාල පුත්‍රයාත්, සැමියාත් සමග මාමඩල ගම්මානයේ විසුවේ යහමින් ගොවිතැන් බත් කරමින්ය. එහෙත් ඒ භීම සමයේ ඔවුන්ගේ ඉරණම්කාරී රාත්‍රිය උදාවුයේ 1989 නොවැම්බර් 20 වැනිදා  සිය නිවසට කඩා වැදුණු හමුදා කණ්ඩායමක් විසින් ඇයත්, කෘෂිකාර්මික කම්කරුවෙකු වූ  ඇගේ සැමියා, කේ.එච්.ප්‍රේමදාසත් රැගෙන යාමෙන් ඉක්බිතිය. මාමඩල තාවකාලික හමුදා කඳවුරේදී  අවසන්වරට සියැසින් දුටු ප්‍රේමසිලි අම්මට ඇගේ සැමියා ගැන අද වන තෙක්ම කිසිදු තොරතුරක් දැනගන්නට නොමැත.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

 “ගැහැණියක් කියලා බැලුවේ නැහැ වද දුන්නා “

“හමුදාව අරන් යනකොට මහත්තයාගේ වයස අවුරුදූ හතළිහයි. මට තිස් හයයි.“

“කියාපිය ඇත්ත කියලා මට හොඳටම ගහනවා. හෝස් බටවලින් ගැහැව්වේ. කසේ වගේ ඇඟ වටේ යනවා. හරිම වේදනයි ඒත් මොනවා කරන්නද. ගැහැනියක් කියලා බැලුවේ නැහැ. හොඳටම ගැහැව්වා. ඕකිව බාපන් කියල කිව්වා ඇහුනා. මාව බාලා මහත්තයා ලඟින් වාඩි කරා. එකෙක්  ඇවිත් මගේ පපුවෙන් ඇල්ලුවා. මහත්තයෝ ඔහේලටත් සහෝදරියෝ ඉන්නවා නේද කියලා මම ඇහැව්වා. එතකොට අත ගත්තා. ඊට පස්සේ මම දන්නේ නැහැ කොහාටද මාව එක්කගෙන ගියා. උන් ඔක්කොම බිබී හිටියේ රෑ එළිවෙනකම්ම මට අතවර කළා. මට මුකුත් පේන්නේ නැහැ. මගේ ඇස් බැඳලා තිබ්බේ. මට සිහිය නැතිවුණා.“

පසුදා උදෑසන සිහි එළඹී ප්‍රේමසිලී අම්මාගේ ඇස් බැඳී රෙදිපට ඉවත් කෙරිණි. ඇය වටපිට විපරම් කෙරුවේ තම ආදරණිය සැමියා කොහේ ඇත්දැයි කියාය. ඔහු පෙනෙන්ට නොවිණි. ඔහු ඇඳ සිටී කමිසයෙන් ඇගේ ඇස් බැඳ තිබිණි. 

“උඹ ලැහැස්ති වෙයන් හම්බන්තොට යන්න. අද තමයි උඹව ටයර් සෑයට දාන්නේ.“හමුදා නිලධාරියෙකු ගෝරනාඩු කරන්නට විය.

හම්බන්තොට හමුදා කඳවුරට රැගෙන ආ ප්‍රේමසිලි අම්මාට එහිදී ද වධබන්ධනයන්ට මුහුණ දෙන්නට විණි. 

“කියපන් ඇත්ත. මම කිව්වා මම මුකුත් දන්නේ නැහැ කියල. ඒ පාර කොල්ලෙකුට කිව්වා මේකිව එල්ලාපන් කියලා. එවර එල්ලුවේ මගේ මහපට ඇඟිලි දෙකෙන්. හොඳටම මට ගහනවා. ඒ වෙලාවේ මට මලමුත්‍රා පිටවුනා. ඒත් ඉතිං කාට කියන්න ද.  ඇත්ත කියාපිය, ඇත්ත කියාපිය කවුද ජේ.වී.පී කාරයෝ. කොහෙද ඉන්නේ කියල, කියන්නේ නැත්නම් බෝතල් බස්සපිය කිව්වා. බෝතල් ගේනවා.  දෙකේ දෙකේ පොලු වලින් හොඳටම පහර දුන්නා.“

පහර දීම් ඉවසා ගත නොහැකි වූ ඇය, ඇගේ ගම් ප්‍රදේශයේ මියගිය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් පවසන්නට වුවාය. 

“ඊට පස්සේ විනාඩි දහයක් විතර එක දිගටම ගැහැව්වා. ගහලා බිමට බෑවා. ඇඟිලි දෙක හොඳටම ඉදිමිලා.ඇඟපත වේදනාවයි. ඒ මදිවට මලමුත්‍රා. මරලා ටයර් දාලා පුච්චනවනේ කියලා හිතාගෙන ඔහේ හිටියා. මම කොහොමත් තේ බොන්නේ නැහැ. තේ කෝප්පයක් ගෙනත් දුන්නා. ඒකත් වස බොන්න වගේ අමාරුවෙන් බිව්වා. කන්න දුන්නත්, කන්න බැහැ ඇඟිලිත් හොඳටම ඉදිමිලා.“ 

මෙහි වධබන්ධනයන්ට ලක්කොට  ප්‍රශ්න කෙරෙන සැකකරුවන් දිවා කාලයේ තහඩු සෙවිලි කළ ගොඩනැගිල්ලක රඳවා තබා ගැනේ. ඒ ආසන්නයේ වූ සංචාරක බංගලාවක රාත්‍රී කාලයේ  දෙපාවලට විලංගු දමා ප්‍රේමසිලි අම්මා මෙන්ම අත්අඩංගුවට ගත් තවත් තරුණියන් කිහිපදෙනෙක්ම එහි රඳවා ගෙන සිටියාය. 

“ඒගොල්ලෝ කාලයක් තිස්සේ දුෂණය වෙමින් තමයි මෙහෙ ඉඳලා තියෙන්නේ. සර්, ගඳක් එනවා කියලා එක ළමයෙක් කෑගහන්න ගත්තා. මම කිව්වා, ගහද්දි මට මළමුත්‍රා පිටවුණා ඒ ගඳයි එන්නේ කියල.  මොනාහරි රෙදි කෑලි ටිකක් හොයාගෙන ඔය ගෑණි නාවපල්ලා කිව්වා. එක්කෙනෙක් ලිඳක් ගාවට මාව එක්කාසු කරන් ගිහින් නාවලා එහෙම  මරලා දාපු  කොල්ලෙකුගේ  සරමකුයි, ෂර්ට් එකකුයි තමා ඇඳගන්න දුන්නේ.  පස්සේ රෑට බත් කන්න දුන්නා. හමුදාකාරයා ඉන්න ඇඳේ  කකුලට තියලා මගේ කකුල් දෙකට මාංචු දාල පැදුරු කබලක් දුන්නා නිදාගන්න කියලා.“

“දවස් දෙකකට පස්සේ මාවත් යැව්වා අර සර්කිට් බන්ගලෝ එකට. එහෙදි තමයි කෙල්ලෙක් මගෙන් ඇහැව්වේ, අක්කේ, ගොඩක් අතවර සිද්ධවුණා මට ළමයෙක් හම්බවෙන්න එයිද කියලා.“

රතු කුරුසේ ලියාපදිංචිය –

එම කඳවුරේ අත්අඩංගුවේ පසුවූ තවත් තරුණියන් තිදෙනෙකු සමගින් ප්‍රේමසිලි ද හම්බන්තොට පොලිසිය වෙත බාර කෙරිණි. ඒ 1989 දෙසැම්බර් මාසයේත් සති කිහිපයක් නික්මයාමෙන් අනතුරුවය. රැඳවුම් නියෝග යටතේ සිටී ඔවුන්  පොලිසිය තුළ දී නම්  කිසිදු හිරිහැරයකට ලක් නොවිණි.  ඒ අතරතුර ජාත්‍යන්තර රතු කුරුස කමිටු නියෝජිතයන් ද එහි පැමින ඔවුන්ගේ විස්තර සටහන් කොට රැඳවියන් ලෙස  ලියාපදිංචි කරන්නටවිය. අත්අඩංගුවේ පසුවූ බොහෝ රැඳවියන්ට  ජිවත් වීමේ වාසනාව උදාවුයේ මෙලෙස ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ ලියාපදිංචි කිරීම නිසාවෙනි. එසේ ලියාපදිංචි කොට සිටියදී පවා පුද්ගලයන්  මරා දැමුණු හෝ අතුරුදහන් කිරීමේ සිදුවීම් ද වාර්තා නොවුනා නොවේ.

“හමුදා කඳවුරේදී අපිට වද දුන්න  ලිප්ටිනන් රාහුල වික්‍රමසිංහ දවස් කිහිපයක්ම පොලිසියට ඇවිත් අපි කට්ටිය දිහා බලාගෙන ඉන්නවා. පස්සේ තමයි  පොලිසියේ  ඕ.අයි.සී. මහත්තයා අපිට කිව්වේ ඕගොල්ලන්ව ගෙනියන්න අදත් ආවේ. මම කිව්වා දෙන්න බැහැ  ඩී.ඕ. ගහලා තියෙන්නේ කියලා. පස්සේ අපිට දැන ගන්න ලැබුනා වික්‍රමසිංහ, මනුස්සයෙක්ව  මරලා අහුවෙලා හමුදා සේවයෙන් අයින් කරලා කියල“

මෙසේ පස් මසක් හම්බන්තොට පොලිස් සිරමැදිරියේ ගෙවා දැමූ ප්‍රේමසීලි අම්මාට එරෙහිව රාජ්‍ය විරෝධී චෝදනා යටතේ නඩු පවරා තිබිණි. පසුව සතියක පමණ කලක් තංගල්ල බන්ධනාගාරයේ සිටින අතරතුර ඇයට පවරා තිබු නඩුවෙන් නිදහස් කෙරිණි.

“මම නිදහස් වෙලා එන කොට මගේ ළමයි තුන්දෙනා අතන මෙතන ඉඳලා තිබුනේ. හරි හැටි කන්න බොන්න දේකුත් තිබිලා නැහැ. කිසිකෙනෙක් උදව්වට කිට්ටුවෙන කාලයක් නෙමේ ඒ කාලේ. කවුරුත් බයයි. කන බොන වෙලාවට ගෙවල් වලින් ඉල්ලන්නත් බැහැනේ, දුන්නොත් තමයි කාලා තියෙන්නේ. මේ හැම දේකටම වගකියන්න ඕනේ ඒ කාලේ හිටපු ජනාධිපති  ආර්. ප්‍රේමදාස.“ ඇය පවසන්නේ ආවේගයෙනි.  

සිය සැමියා අතුරුදහන් කිරීමත්, ඇයට සිදුවූ අසාධාරණයටත් එරෙහිව මුලික අයිතිවාසිකම් පිලිබඳ නඩුවක් ඇය විසින් අධිකරණයේ ගොනු කර තිබිණි. එහෙත් දරුවන් තිදෙනෙකුගේ ඉදිරිය වෙනුවෙන් ඇයට රැකියාවක් වෙනුවෙන් විදේශ ගත වන්නට සිදුවුවාය. ඒ අතර ඇය පැවරු නඩුව අවලංගු කෙරුනේ පැමිණිල්ල නොමැති බව පවසමින්ය.

පසුව අතුරුදහන්වුවන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට  රජයෙන් වන්දි ලබා දෙන බවට නිවේදනය කිරීමෙන් අනතුරුව ප්‍රේමසිලි අම්මා හුංගම පොලිසිය වෙත ගියේ  සිය සැමියා අතුරුදහන් කිරීම පිලිබඳ පැමිණිල්ලක් කිරීමටය. ඇගේ මතකය අනුව ඒ 1999 වසරේදී පමණය. 

“පැමිණිල්ල ලියාගන්න  හිටියේ  දයානන්ද හෙට්ටිආරච්චි කියලා වීරකැටිය පැත්තේ පොලිස් රාලහාමි  කෙනෙක්. මෙහෙම ලීවාට බැහැ. ගමට ඇවිත් විස්තර හොයන්න ඕනේ කියලා මිනිහා කිව්වා. එයාගේ කතාව මට ඇල්ලුවේ නැහැ. මම පුතාට කිව්වා මාව තනි කරන්න එපා මගේ ලඟින්ම ඉන්න කියලා. පහුවදා මම අපේ ඥාති දුවක් එක්ක ඇළට නාන්න ගියා. මෙන්න මේ මිනිහා එනවා පැමිණිල්ල ගැන තොරතුරු හොයන්න කියලා. මට කියනවා එයාගේ මෝටර් සයිකලයට නගින්න කියල. සර්, යන්න මම එන්නම් කියලා කිව්වා. ඒත් මෝටර් සයිකලයට නගින්න කියනවා. ඒ එක්කම පුතත් ආවා. ඉතිං මිනිහට ඕන දේ කරගන්න බැරිවුණු නිසා මගෙන් පළිගත්තේ මට වන්දිය ගන්න බැරි විදිහට පැමිණිලි වාර්තාව ලියලා. මේ අය `රාජ්‍ය විරෝධී කටයුතු වලට සම්බන්ධයි` රතු පාටින් ලියලා තිබ්බ.“

හමුදා කණ්ඩායම සමග ප්‍රේමසිලි අම්මගේ නිවසට කඩා වැදුණු “බිල්ලා“ ද  මාමඩලේ ඇගේ අසල්වැසියෙකි. දිවි බේරාගෙන පැමිණි ඇයට, එකම ගම්පියසේ වසන්නට සිදුවූයේද එවැනි පාපතරයන් සමගිනි. බිල්ලා සම්බන්ධයෙන් ද  ප්‍රේමසීලි අම්මාට කියන්නට නිධාන කතාවක් තිබේ.

“මේ බිල්ලාට ආපු මනුස්සයා මගෙත් එක්ක හිත හොඳ නැහැ. ඒ දවස්වල මම ටිකක් පෙනුමයි. දවසක් මේ මිනිහා මගේ ඇඟට අත තියලා මම හොඳටම බැන්නනේ. ඒ පලිය තමයි ඌ  ගත්තේ. ළමයි සලකන්නෙත් නැතුව, දුක් විඳලා තමයි මේ මෑතකදී මැරිලා ගියේ.“ 

යුක්තිය හා වන්දි මුදල් –

තම ආදරණිය සැමියාගේ සේයාරුවක් සහිත මාලයක් ගෙළ පළඳා සිටින ප්‍රේමසිලි අම්මා වැනි තවත් දහසක් අම්ම්වරුන් ඉල්ලා සිටින්නේ යුක්තිය හා සාධාරණත්වය හා  හානි පුර්ණය. 

මුලින්ම 1996 දී මරණ සහතිකයක් හා යම් මුදලක් වන්දියක් ලෙසින් ලබා දුන්නද, ඇතැම්  වින්දිත පවුල් වෙත එම මුදල ලැබුනේ නැත. 2019 දී  රුපියල් මිලියන 500 ක් වෙන්කෙරුනේ  එක් වින්දිත පවුලකට රුපියල් 6000 බැගින් වූ දීමනාවක් ලෙසය. එයින් රුපියල් ලක්‍ෂ හතක් වැයකොට පවුල් 153 කට පමණක් දීමනා ලබාදුනි. 2024 වසරේදී රුපියල් මිලියන දහසක් වින්දිත පවුල් 5000 ක් අතරේ බෙදා දීමට නියමිත වුවද,  පවුල් 4000 කට පමණක් එම මුදල් ලැබිණි.  2025 අයවැයෙන් රුපියල් මිලියන 16 ක මුදලක් වෙන්කොට ඇත්තේ  එක් වින්දිත පවුලකට රුපියල් ලක්ෂ දෙක බැගින් හිමිවන පරිදිය. ප්‍රේමසිලි අම්මා වැනි තවත් බොහෝ අතුරුදහන්කළවුන්ගේ ඥාතීන්ට ගැටලුව වී ඇත්තේ  2025 වසර නිමාවේ අභියසට පැමිණ තිබියදීත් එම වන්දි මුදල් ලබා නොදීමය. 

දශක හතරක පමණ කාලයක සිට සිය සමීපතමයන්ට යුක්තිය හා සාධාරණත්වය ඉල්ලන දකුණේ අම්මලාගේ අරගලය දේශපාලඥයන් හා ඇතැම් සංවිධාන විසින් විටින් විට සිය න්‍යාය පත්‍රයන්ට අනුගත කිරීම නිසා යම් පසුබෑමකට ලක්ව ඇත.

 එම නිසාම විඩාබර අම්මලාව වන්දියකින් සෑහීමට පත්කිරීමේ උත්සහයක් පෙන්නුම් කෙරේ. මින් උතුරේ දෙමළ අම්මලාගේ අරගලය වෙන්වන්නේ ඔවුන් තවමත් යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් වූ  දිරිමත් හා අඛණ්ඩ අරගලයක නිරත නිසාය. 

අතුරුදහන් තැනැත්තන්ගේ කාර්යාලය හරහා විමර්ෂණය කරන්නට ඇති ප්‍රධාන බාධකය වන්නේ එහි කාර්ය මණ්ඩලයේ පවතින පුරප්පාඩු බව අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මේ අතර පෙන්වාදෙයි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ, කොළඹ  මාධ්‍ය අංශය කියා සිටියේ අතුරුදහන් තැනැත්තන්  පිළිබඳ කාර්යාලය පිහිටුවීමටත්, ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රජාවන්ට අයත්  අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සේවය කරන නොපැමිණීමේ සහතිකය හඳුන්වාදීමට තාක්ෂණික සහාය ද ලබාදුන් බවය. 

“අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ පවතින  බැඳීම් පිළිබඳව බලධාරීන් සමඟ සංවාදයක් ICRC මගින් පවත්වාගෙන යනවා. ICRCයේ මානුෂීය නියෝගයන්ට  අනුකූලව, අතුරුදහන්වූවන්ගේ පවුල්වල බහුවිධ අවශ්‍යතා සපුරාලීමත්, ඔවුන්ගේ අතුරුදහන් වූ ආදරණීයයන් ගැන  දැන ගැනීමටත්,  අධිකරණ වෛද්‍ය දත්ත කළමනාකරණයේ තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීමත්, අතුරුදහන් වූ පුද්ගලයින්ට අදාළ තාක්ෂණික උපදෙස් සහ පුහුණුව ලබා දීමත්, ලංකාවේ වෛද්‍ය-නීති ප්‍රජාව අතර අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ හොඳම පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමත්  ICRC අඛණ්ඩව කරගෙන යනවා“

මේ අනුව  ඉදිරියේ දී විමර්ශණ ආරම්භ වී වැරදි කළවුන්ට දඩුවම් ලැබේවි ද?  අතුරුදහන් හා ඝාතනය ලක්වූවන්ට යුක්තිය ඉටුවේ ද?  අපි බලා සිටිමු. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වෙනුවෙන් නිර්දේශ ඇතුළත් වාර්තාව අධිකරණ ඇමති අතට…

Next Post

දුම්රියේ ගැටී මියගිය වන අලියෙකුගේ මළ සිරුරක් හමු වෙයි!… දුම්රිය රියදුරු ආසන්න දුම්රිය ස්ථානයටවත් අනතුර දැනුම් දී නෑ…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.