බිලියන ගණනක මුදල් වංචාවක් සම්බන්ධව අත්අඩංගුවට පත් වී ඇති තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සඳහා කරෙන විමර්ශනයට අදාලව ප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළි සේමිණි ඉද්දමල්ගොඩගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (30) ප්‍රකාශයක් සටහන්කර ගෙන තිබේ.
පුද්ගලයින් සමග සමීප සම්බන්ධතා ඇතිකරගෙන ඔවුන්ගේ පුද්ගලික ආශයන් ප්‍රකාශවන හඬපට ලබාගෙන ප්‍රියමාලිට ලබා දී ඔවුන් බ්ලැක්මේල් කළ බවට චෝදනා ලද නිළියන් කිහිපදෙනෙක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානයට ලක් වී තිබිණි. සේමිණී ඉද්දමල්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන්නේ ඒ අනුවය.
පැය 04ක පමණ කාලයක් ඇගෙන් ප්‍රශ්න කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි. එහිදී හඬ පට සිදුවීමක් ගැන මෙන්ම තිලිණි ප්‍රියමාලි සමඟ ඇයට තිබුණු සම්බන්ධකම් ගැනද දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.
ඇය පවසා ඇත්තේ තිලිණිගේ ව්‍යාපාරවල තමා කිසිදු මුදලක් ආයෝජනයකර නැති බවත් ඇගෙන් මුදල් ලබාගෙන කිසිදු පුද්ගලයෙක් බිය ගැන්වීමකට මැදිහත් වී නැති බවත්ය.
ඇය විසින් ලබාදුන් ප්‍රකාශයන් වලින් මතුවන කාරණා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වා අවශ්‍යතාවක් මතුවුවහොත් ඇයව නැවත වරක් කැඳවා ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
මේ අතර ප්‍රියමාලිගේ වංචා සඳහා අනුබල දුන් බව කියන තවත් ජනප්‍රිය රංගන ශිල්පීනියන් දෙදෙනෙකු ප්‍රශ්න කිරීමට ඊයේ (31) කැඳවා තිබුණත් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව හමුවේ පෙනී සිටීම මඟහැර තිබේ.
විවිධ හේතු පවසමින් බලවතුන් හරහා ද පණිවුඩ තබමින් ඒ අය අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුවේ ප්‍රශ්න කිරීම්වලින් බේරීමට උත්සහ ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
.







