දිනසේන රතුගමගේ
-
පසුගිය වසර 13 ක කාලය ඇතුළත එවැනි ඔත්තු මත උතුරේ ස්ථාන 107 ක කැණීම් කළත් කිසිම දෙයක් ලැබී තිබුණේ නෑ…
එල්.ටි.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකුගෙන් ලද තොරතුරකට අනුව යාපනයේ ඩෙල්ෆ්ට් ප්‍රදේශයේ සිදු කළ කැණීමකින් යුද උපකරණ පතරොම් ඇතුළු විවිධ පුපුරණ ද්‍රව්‍ය කොටස් 800 ක් පමණ සොයා ගැනීමට ඩෙල්ෆ්ට් පොලීසිය ඊයේ (15) සමත් වී ඇත.

පොලීසියට ලද එම තොරතුර මත පොලීසිය යාපනයේ ඌර්කාවතුරේ අධිකරණයෙන් ලබා ගත් අධිකරණ තීන්දුවක් මත අදාල ස්ථානය බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන හාරා තිබේ.
මේ අවස්ථාවේදී එම විශාල යුද උපකරණ තොගය හමු වී ඇති අතර මේ දිනවල යාපනයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා එක දිගටම කැණීම් කටයුතු සිදු කරගෙන යාමට නොහැකි වී තිබේ.
එම යුද උපකරණ තොගය හා පුපුරණ ද්‍රව්‍ය හමු වී ඇත්තේ දැනට පවුලක් පදිංචිව සිටින පෞද්ගලික ඉඩමකින්වන අතර ඔවුන්ගේ ඉඩමේ මෙවැනි දේ ඇති බව පදිංචිකරුවන් දැන නොසිටි බව ඩෙල්ෆ්ට් පොලීසිය සඳහන් කරයි.
මෙම කැණීම් සිදු කෙරෙන ස්ථානයට යාපනයේ යුද හමුදාවේ පොලීසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටින අතර කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද ඔත්තුවක් සාර්ථක වූ පලමු අවස්ථවද මෙය වෙයි.
පසුගිය වසර 13 ක කාලය ඇතුළත එවැනි ඔත්තු මත උතුරේ ස්ථාන 107 ක කැණීම් කටයුතු ආරක්ෂක අංශ විසින් සිදු කොට ඇති බවත් ඒ කිසිදු කැණීමකින් සැකකටයුතු කිසිවක් හමු නොවූ බවත් උතුරේ ආරක්ෂක අංශ සඳහන් කරයි.
මේ ස්ථානයේ කැණීම් කටයුතු තව දුරටත් සිදු කෙරෙන අතර ඩෙල්ෆ්ට් පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







