දිනසේන රතුගමගේ –
ප්‍රංශයේ උපනගරයක දුම්රිය මාර්ගයක පාලමක් කඩා වැටීමෙන් ශ්‍රී ලංකාවේ දෙමළ වැසියෙකු ඊයේ (06) මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ තම්බිරාසා පාර්කුණරාජා නැමති 55 හැවිරිදි පුද්ගලයෙකි.
යාපනයේ උපත ලබා කොළඹ ජීවත් වූ ඔහු මීට වසර 19 කට ඉහතදී ප්‍රංශයට ගොස් ප්‍රංශයේ දුම්රිය මාර්ග තනන Bouygues Travaux Publics නැමති සමාගමේ ඉදිකිරීම් අංශයේ සේවකයෙකු ලෙස සේවය කොට තිබේ.
ප්‍රංශයේ ටූල්ස් ප්‍රදේශයේ උපනගරයක් වන ලබගේ නැමති ස්ථානයේ දුම්රිය පාලමක ඉදි කිරීම් කටයුත්තක් සිදුකරමින් සිටියදී එය හදිසියේ කඩා වැටීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මෙම ශ්‍රී ලාංකිකයා සමග බරපතල ලෙස තුවාල ලබා ඇත.
තුවාලකරුවන් රෝහල් ගත කිරීමෙන් පසුව ශ්‍රි ලාංකිකයා මියගොස් තිබේ.
දුම්රිය මාර්ගයේ මීටර් දහයක් පමණ උසින් මෙම පාලම පිහිටා ඇති අතර අනතුර සිදු වන අවස්ථාවේදී පුද්ගලයින් හතර දෙනාම පාලම මත සේවය කරමින් සිට ඇත.
භාණ්ඩ ඔසවන දොඹකරයක් හදිසියේම මෙම පාලම මතට කඩා වැටීමෙන් පසුව පාලම කැඩී බිමට පතිත වීමෙන් එම අනතුර සිදුව තිබේ.
මියගිය ශ්‍රී ලාංකිකයාගේ අවසන් කටයුතු ඔහු සේවය කළ සමගම විසින් ප්‍රංශයේදී සිදු කිරීමට නියමිතය.