පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ සිට නැවත ලංකාවට පැමිණි පසු ඔහුට ලබා දීමට බලාපොරොත්තු වන්නේ කොළඹ හත බෞද්ධාලෝක මාවත සහ මළලසේකර මාවතට මුහුණලා ඇති රජයේ නිවස බව වාර්තා වේ. මෙම නිවස රජයේ ඇමති නිල නිවාසවලින් එකකි.
විශේෂත්වය වන්නේ මෙම නිවසට පැමිණි පසු ඔහුගේ අසල්වැසියා වන්නේ නාමල් රාජපක්ෂ වීමය. රජයේ කැබිනට් ඇමතිවරයෙක් වෙත ලබා දෙන එම රාජකාරි නිල නිවස ඇමතිකමක් නැති නාමල් රාජපක්ෂ විසින් රජයට භාර දී නැත. ඔහු තවමත් එහි රැඳී සිටින්නේය.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා ඔහු ජීවත් වූ මිරිහාන නිවසේ ජීවත් වීමට කැමැත්ත පල කර ඇත. නමුත් පවතින ආරක්ෂක තත්ත්වය තක්සේරු කර ආරක්ෂාව ලබා දීමට ඇති අසීරුව නිසා ඔහුට කොළඹ 07 නිල නිවස ලබාදීම ගැන සලකා බලමින් ඇත.
හිටපු ජනාධිපතිවරයා මේ වනතුරු දේශපාලන රැකවරණය ඉල්ලූ සෑම රටකින් එම රැකවරණය ලබා දීමට කැමැත්තක් නොදැක්වීම විශේෂ තත්ත්වයක් ලෙස සැලකේ.
මේ වනවිට හිටපු ජනාධිපතිවරයා තායිලන්තයේ සිට මෙරටට පැමිණීම ප්‍රමාද කර ඇත්තේ ආරක්ෂක අංශවල අනුමැතිය තවමත් නොලැබීම නිසා බවත් එය ලැබුණු වහාම ඔහු ලංකාවට පැමිණීමට නියමිත බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.







