සූරියවැව නුවන් ජයසේකර-
අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් සඳහා නොමිලේ සහල් බෙදාදීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යටතේ පසුගිය දින තංගල්ල හා අවට සහල් බෙදාදීම සිදු කෙරුණු අතර එහිදී සහල් බෙදා දුන් නිළධාරීන් විසින් අඩු ආදායම්ලාභීන්ගෙන් මුදල් එකතු කිරිමක් සිදුකළ බවට ජනතාව චෝදනා කරයි.
අඩු ආදායම්ලාභී එක් පවුලක් සඳහා සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් බෙදාදීම මෙහිදී සිදුකෙරුණු අතර එහිදී සහල් ලබාගැනිමට පැමිණ සිටි තංගල්ල, නෙටොල්පිටිය ,ලාලිතපුර හා වැලිවැන්න ප්‍රදේශවල පදිංචි අඩු ආදායම්ලාභී ජනතාවගෙන් රුපියල් 150 දක්වා වු මුදලක් අය කළ බවට ජනතාව චෝදනා කරති.
“ඇත්තටම ජනාධිපති වරයාගේ මේ වැඩපිළිවෙළ හොදයි. මොකද අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන වෙලාවක මේ විදියට සහල් කිලෝ 10ක් ලබා දීම අගේ කරන්න ඕනි. නමුත් වෙලා තියෙන්නේ ගමේ ඉන්න නිළධාරීන් මේ වැඩපිළිවෙළ නිසි පරිසි සිදුකරන්නේ නැති එක.”
“ . මේ වෙලාවේ අපිට මේ නොමිලේ දෙන සහල් ටික ගන්න සල්ලි ගෙවන්න වුණා. අපිට තේරෙන්නේ නෑ ඇයි මේ නිළධාරීන් මේ විදියට අහිංසක මිනිහව මේ විදිය තලා පෙළා කටයුතු කරන්නේ ඇයි කියලා. මේ සම්බන්ධයෙන් ඇත්තටම පරීක්ෂණයක් කරලා ජනතාව මේ විදියට අපහසුතාවට පත් කරන නිළධාරීන් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්න ඕනේ” අඩු ආදායම්ලාභියෙක් අප සමග පැවසීය.
මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාගෙන්ද විමසිමක් කළ අතර එහිදී ඔහු පැවසුවේ ජනතාවට බෙදාදීමට තිබූ සහල් තොගවල ආරක්ෂාවට සිටි පුද්ගලයාට ගෙවීම සඳහා ජනතාවගෙන් මෙලෙස මුදල් එකතු කර ලබාදී ඇති බවට වාර්තා වූ බවය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා අදාළ නිලධාරීන්ට නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.