ජාතික අධ්‍යාපන පද්ධතියට ගුරුවරුන් පුහුණු කිරීමේ වගකීම සහිත ප්‍රමුඛම සේවයවන ගුරු අධ්‍යාපනඥ සේවයේ වැටුප් විෂමතා ඉවත් කරගැනීම වෙනුවෙන් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණ කර ඇතැයි සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
එහි මුල් පියවර ලෙස අප්‍රේල් 29 සහ 30 දෙදින තුළ සංකේත වර්ජනයක් යෙදෙමින් විරෝධතාවය ප්‍රකාශ කිරීමටත්, ඊට අමතරව රජයේ විධායක නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරනු ලබන මැයි 2 සහ 3 යන දෙදින වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සහාය දීමටත් කටයුතු කරන බව ඇතැයි සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි.
තමන් පත්ව ඇති යථාර්ථය හෙළි කරමින් ගුරු අධ්‍යාපනඥයින් පෙන්වා දෙන්නේ ගුරු අධ්‍යාපනඥ සේවාවේ ඉහළම තනතුරවන පීඨාධිපතිවරයෙකුගේ වැටුප් සහ සියලුම දීමනා මහ බැංකු කාර්යාල කාර්ය සහායෙකුගේ වැටුපෙන් අඩකටත් අඩු බවය.
එමෙන්ම රජයේ විධායක ශ්‍රේණියක්වන ගුරු අධ්‍යාපනඥයින්ගේ වැටුප ඔවුන් විසින් පුහුණු කර අධ්‍යාපන පද්ධතියට එක් කරන ගුරුවරයෙකුගේ පළමු ශ්‍රේණියේ වැටුපටත් වඩා අඩු බවය. එමෙන්ම විදුහල්පතිවරයෙකුගේ වැටුපටත් වඩා තම වැටුප අඩු බවය.
මේ සම්බන්ධව අගමැතිවරයා, ජනාධිපතිවරයා දක්වා සියලුම පාර්ශව දැනුම්වත් කර ඇති නමුත් ඊට සඵළ විසඳුමක් මෙතෙක් ලැබී නැති බවත් සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය කියයි.
කෙසේ වෙතත් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පසුගියදා පාර්ලමේන්තුවේ දී ප්‍රකාශ කලේ ගුරු විදුහල්පති, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ, අධ්‍යාපන පරිපාලන තනතුරුවල වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා මේ වනවිට රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුව සමග විශේෂ කමිටුවක් හරහා අධ්‍යයනය කරමින් පවතින බවය.