නුවරඑළිය සෙන්පති මැදුරේ සිදුවූ වෙඩ් තැබීමක් සම්බන්ධව පොලිසිය පුලුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම වෙඩි තැබීම වාර්තා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් සමඟ පැමිණි 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නුවරඑළිය සෙන්පති මැදුරේ පැවති රාත්‍රී සාදයක් අතර තුරදීය.
වෙඩි තැබීම පසුගිය ජනවාරි මස 28 වැනිදා සිදුවී තිබුණත් සිද්ධිය පිළිබඳ සෙන්පති මැදුරේ කළමනාකරු විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුම්වත් කිරිමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් මත පොලිසියට පැමිණිළි කර තිබුනේ පෙරේදා (04) ය.
පැමිණිලිකාර කළමනාකරු මිලි මීටර් 9 වර්ගයට අයත් හිස් පතොරම් කොපු දෙකක්ද පොලීසියට ඉදිරිපත්කර තිබිණි. ඔහුට අනුව මෙම සාදය සඳහා පැමිණ ඇත්තේ පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන්වන ගයාෂාන් නවනන්දන, නිමල් පියතිස්ස සහ මිලාන් ජයතිලක යන මහත්වරු සහ ඔවුන් සමඟ පැමිණි 30 දෙනෙකුගෙන් කණ්ඩායමකි.
ඔවුන් පසුගිය ජනවාරි 28 වෙනිදා සෙන්පති මැදුරේ නවාතැන් ගෙන එදින රාත්‍රී කාලයේ දී සාදයක් පැවැත්වූ බවත් සාදය අතර තුර වෙඩි ශබ්ද දෙකක් ඇසුණු බැවින් සාදය අවසන් වීමෙන් පසුව කළ සොයා බැලීමේදී මිලි මීටර් 9 වර්ගයේ හිස් පතොරම් කොපු දෙකක් එම ස්ථානයේ තිබී හමුවූ බවත් කළමනාකාරතැන පොලිසියට ප්‍රකාශ කර ඇත.
මෙම වෙඩි තැබීම කවුරුන් විසින් කර තිබේද?, කුමක් අරඹයා සිදුකළේද? යන්න පිළිබදව කිසිවක් මෙතෙක් හෙළිවී නැති බව පොලිසිය කියයි.
මෙම සාදයට සහභාගිවී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාගේ ආරක්ෂකයින්ගෙන් මුලින්ම මේ ගැන ප්‍රකාශ සටහන්කරගෙන, අනතුරුව ඒ අයගේ ගිනි අවි වලින් මෙම උණ්ඩ පිටවී තිබේදැයි පරික්ෂා කර බලන බව පොලිසිය සඳහන් කරයි.
මෙම මන්ත්‍රීවරුන් සමඟ පැමිණි පිරිස කවුරුන්දැයි හදුනා ගැනීමට අවශ්‍ය විමර්ශන පවත්වා වෙඩි පත්තුවූයේ ඒ අය රැගෙන පැමිණි නීත්‍යානුකූල ගිනි අවියකින්ද එසේත් නැතිනම් නීත්‍යානුකූල නොවන ගිනි අවියකින්දැයි සොයා බලන බවද පොලීසිය කියයි.
සාදය අතර තුර පත්තු වූ වෙඩි දෙක වැදුණු තැනක් මෙතෙක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැති බවත්අ, පරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් යොදවා සෙන්පති මැදුරේ සාදය පැවති ස්ථානය සහ ඒ අවට සියුම් විමර්ශනයක් සිදුකිරීමට පියවර ගන්නා බවත් නුවරඑළිය පොලීසිය සඳහන් කළේය.