ශ්‍රියානි විජේසිංහ –
උග්‍ර ඖෂධ හිඟයට අමතරව රජයේ රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමේ මූලිකම පදනම දෙදරා යන තරම් දැඩි මූල්‍ය අර්බුදයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය අමාත‍්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට ආහාර සැපයුම්කරුවන්, රෝහල් පිරිසිදු කරන්නන්, හා පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් සඳහා මාස ගණනාවක සිට පවතින හිඟ වැටුප් ගෙවා නොමැති බවද එම ආරංචි මාර්ග අනතුරු අඟවා සිටියි.
දැනටමත් රෝහල් රැසක විදුලි බිල් ගොඩ ගැසී ඇති නිසා එම බිල් හැකි ඉක්මනින් ගෙවා දැමීමට කටයුතු නොකළහොත් විදුලිය විසන්ධි කරන බවට පසුගියදා විදුල් බල මණ්ඩලය කළ අනතුරු ඇගවීමෙන් පසුව අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගේ සාකච්ඡාවකින් හිඟ බිල් ගෙවා දැමීමට මාස දෙකක කාලයක් ලබා දී තිබිණි.
මෙම තොරතු සමබන්ධයෙන් ලංකාසර සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් විමසු විට ඔහු සඳහන් කළේ නිදහස් සෞඛ්‍ය පවත්වාගෙන යාමේ දැඩි අර්බුධයක් නිර්මාණය වි ඇති මොහොතක ඇතැම් සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයින් දේශපාලන උවමනාවන් සහ තම පෞද්ගලික න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක කිරීම නිසා නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීම වෙනුවට විනාශය තවත් සීඝ්‍ර වෙමින් පවතින බවය.







