අගමැති මහින්දගේ සහතිකයෙන් පසු වරායේ අකුරට වැඩ හෙටින් අවසන්
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බැවින් එය වරාය අධිකාරිය යටතේම සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් ඊට අදාල තීරණය සහිත කැබිනට් පත්‍රිකාව අද සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවටත් අද වරාය වෘත්තිය සමිති එකමුතුව හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහතික විය.
අද පෙරවරුවේ වරාය වෘත්තීය සමිත එකමුතුව අරලියගහ මන්දිරයට කැඳවූ මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් සමඟ විනාඩි 20ක පමණ කෙටි සාකච්ඡාවක් පවත්වා මේ වනවිට අකුරට වැඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටින වෘත්තිය සමිති නියෝජිතයන්ට පවසා ඇත්තේ නැගෙනහිර වරාය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පත් කර ඇති කැබිනට් අනුකමිටුවේද නිර්දේශයන්ට අනුව මෙම තීරණය ගෙන ඇති බවය. එබැවින් වහා ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ වෘත්තිය ක්‍රියමාර්ගය අවසන් කරන ලෙස අගමැතිවරයා වෘත්තිය සමිතිවලින් ඉලලා සිටියේය.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන ලෙස වෘත්තිය සමිති විසින් කරන ලද ඉල්ලීම හමුවේ අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අද සවස පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්ව එය අනුමත වීමෙන් පසුව එම නිල නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බවය.
ඒ අනුව අද රාත්‍රියේ එම නිවේදනය පැමිණි පසු අකුරට වැඩ වෘත්තීය ක්‍රියාමාර්ගය අතහැරීමට වරාය වෘත්තීය සමිති එකඟ වූහ.