මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුව වැඩිදුර විභාගයට සඳහා සැප්තැම්බර් 14 වැනිදා කැඳවීමට මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියම කළේය.
මෙම නඩුවේ සාක්ෂිකරුවන්ට මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි ද නිකුත් කෙරිණි. 2013 සහ 2014 කාලවලදී නාමල් රාජපක්ෂ මහතාට අයත්ව තිබූ බව කියන සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම හරහා රුපියල් මිලියන 30ක මුදල් විශුද්ධිකරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණි.
නාමල් රාජපක්ෂ, ඉන්දික කරුණාජීව, සුජානි බෝගොල්ලාගම, ඉරේෂා සිල්වා, නිත්‍යා සේනානි සමරනායක සහ ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගමට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් චෝදනා 11ක් යටතේ අධි චෝදනා ගොනු කර තිබුණි.
කොළඹ 5 හි පිහිටි ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සම්බන්ධීකරණ සේවා සැපයීමට පිහිටුවා ගත් ආයතනයකි. දූෂණ විරෝධී හඬ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතාගේ පැමිණිල්ලකට අනුව මූල්‍ය වංචා ඒකකය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.