නව කැබිනට් මණ්ඩලයේ කොටසක් දිවුරුම් දීම හෙට (18) උදේ 10.30ට ජනාධිපති මන්දිරයේ දී සිදුකිරීමට සැලසුම් කර ඇති බව රජයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එසේ නමුත් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ඔවුන් දිවුරුම් දෙන ස්ථානය සහ වෙලාව වෙනස් වීමට ඉඩ ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂයම පත්වීමට නියමිතව ඇත. විශේෂත්වය වන්නේ ආණ්ඩු පක්ෂයේ පිරිස් මෙන්ම ආණ්ඩුවෙන් ස්වාධීන වූ නිමල් ලන්සා ඇතුළු කිහිප දෙනෙකුත් ආණ්ඩුවෙන් ගැලවී ආ නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකුත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්වනු දැකීමේ අභිලාෂයෙන් පසුවීමය.
ආණ්ඩුවේ ආරංචි මාර්ග තහවුරු කරන්නේ බොහෝ විට හෙට දිවුරුම් දෙන කැබිනට් ඇමතිවරුන් සංඛ්‍යාව උපරිම 16ක් වනු ඇති බවය.
ආණ්ඩුවට එක්වන පිරිස් ගැන සැලකිලිමත් වෙමින් පියවර කීපයකින් කැබිනට් ඇමති තනතුරු පිරීමට රජය බලාපොරොත්තු වන බව දැනගන්නට ඇත.
හෙට දිවුරුම් දෙන කැබිනට් මණ්ඩලය ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලට රජය ස්ථාවරව පවත්වාගෙන යන බව පෙන්වීමේ වැදගත් පියවරක් බව රජය පාර්ශවයෙන් පෙන්වා දෙයි.
රට තුළ ඇතිවී තිබෙන තත්වයට යහපත් ප්‍රතිචාරයක් ලබා දිම සඳහා පත්කරන මෙම කැබින්ට මණඩලයට මෙතෙක් ඇමතිකම් දැරූ සමහර ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් නම් නොකිරීම සම්බන්ධව ද අභ්‍යන්තර ගැටලුවක් ඇති වී තිබේ.
එවැනි එක් ඇමතිවරයෙක් බරපතල ලෙස කලකිරී ස්වාධීන වන බවත් කියා අවසානයේ දි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් නව කැබිනට් ඇමති මණ්ඩලයේ කිසිම තනතුරක් භාර ගැනීමට සූදානම් නැති බවය.







