පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති යෝජනාවේ ඇතුළත් චෝදනා විමර්ශනය කරන ත්‍රිපුද්ගල කමිටුව ඊයේ (18) රැස්වුන අවස්ථාවේ දී කුප්‍රකට වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ අපරාධයට අදාල විමර්ශනය තව දුරටත් පැවැත්විනි.
අද සාක්ෂියට කැඳවා තිබුණේ W15 හෝටලයට වෙඩි තැබීම සිදුකර පලා යන වාහනය ඉමදූව පිවිසුමේ දී අත් අඩංගුවට ගත් පොලිස් කණ්ඩායමේ සිටි අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසයේ පොලිස් සැරයන් උපුල් වසන්ත අල්විස් විජේවික්‍රම ය.
ඔහු සාක්ෂි ලබා දෙමින් මෙසේ පැවසුවේය.
වෙඩි තැබීමක් කරලා වෑන් එකක් පලා යනවා කියලත් ඒ වෑන් එකට යන්න ඉඩ දෙන්න එපා කියලත් අළුයම 2.43ට විතර අපට තොරතුරක් ලැබුණා. අලුයම 3.10ට විතර එම වෑන් එක ඉමදූව පිවිසුමට ලඟා වුනා.
සී.කේ 7225 වෑන් එකේ පිටිපස්සේ කණ්නාඩිය කැඩිලා තිබුණා. අපි ගිහින් ඒක පරීක්ෂා කළා. වෑන් එකේ 07 දෙනෙක් හිටියා. වෑන් එකේ කොළ පාට ටීෂර්ට් එකක් දාපු කෙනෙක් අයිඩි එක පෙන්නලා මම සිල්වා කිව්වා. අනිත් කට්ටියත් අපි පොලිසියෙන් කිව්වා.
මම ටක් ගාලා මගේ ඕඅයිසී සමන් කුමාරට කතා කළා. ඊට පස්සෙ වැලිගම ඕඅයිසී උපුල් කුමාරටත් මම කතා කළා. එයා විනාඩි 20න් එනවා කිව්වා. ඒ ගොල්ලන්ට යන්න දෙන්න එපා කියලා මට නියෝග කළා.
ඒ වෙලාවෙ මම කිව්වා මෙතන එක්කෙනෙක් තුවාල ලබලා ඉන්නවා කියලා. එයා කිව්වා 1990ට කතා කරන්න කියලා. අපි ඇම්බියුලන්ස් එකට කතා කළා. අළුයම 3.35ට විතර ඇම්බියුලන්ස් එක ආවා. අපි ටක් ගාලා වෑන් එකට නැගලා තුවාල ලබලා තියන එක්කෙනාව බැලුවා.
එයා බයික් ජැකට් එකක් දාලා හිටියේ. ඒක ගැලෙව්වට පස්සේ තමයි අපි දැක්කේ එයාගේ තුවාලය ලොකු එකක් කියලා. ඇම්බියුලන්ස් එකේ නර්ස් චෙක් කරලා කිව්වා මෙයාගේ හාර්ට් බීට් එක 52යි. එයා අවදානම් තත්ත්වයක ඉන්නේ. ඒ හිද්නා ඉස්පිරිතාලෙට ටක් ගාල ගෙනියන්න ඕන කිව්වා.
ඒ හින්දා මම කිව්වා කරාපිටිය ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා. වෑන් එකේ තවත් කෙනෙක් හිටියා නොන්ඩි ගහ ගහ. එයත් ඇම්බියුලන්ස් එකට නැග්ගා. මම කිව්වා ඇම්බියුලන්ස් එකට නගිනවා නම් ඔයාගේ වෙපන් එක වෙන කාටහරි දෙන්න කියලා.
අලුයම 3.45ට විතර ඇම්බියුලන්ස් එක රෝහලට ගියා. ඊට පස්සේ පොලිසියට ගෙනිච්චා.
අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – එතකොට ඒ වෑන් එකේ ඉඳලා කවුරුහරි බැස්ස ද?
පොලිස් සැරයන් – ඔව් ගරු ස්වාමීනි. එක්කෙනෙක් බැස්සා. සර් සර් කියලා කතා කළා. හරි සර්, හොදයි සර් කියලා ෆෝන් එකෙන් කතා කර කර හිටියා. එයා අයි.පී නිශාන්ත කියලා කිව්වා. අපි වෑන් එක චෙක් කරන වෙලාවෙ ඒ ගොල්ල කොළඹට යන්න ඕන කියලා විතරයි කිව්වේ. අපි ඒකට ඉඩ දුන්නෙ නෑ.
තුවාල ලබලා තියන එක්කෙනක් ඉන්නවා කියලා විතරයි එයාලා කිව්වේ. වෙඩි පහරකින් තුවාල ලබලා ඉන්නවා කියලා කිවේවෙ නෑ. ඒ ගොල්ලන් ඉස්පිරිතාලෙට යන්න ඕන කියලාවත් කිව්වෙ නෑ. අපි තමයි ඒකත් කළේ.
සිද්ධිය වෙලා තියන තැන ඉඳන් කිලෝමීටර 3කින් රෝහලක් තියනවා. වලාන රෝහල. ඒ රෝහලට යන්න ගතවෙන්නේ එතන ඉඳන් ගතවෙන්නේ විනාඩි 03යි.







