ඉඳුනිල් කහටපිටිය –
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනෝද සමය වගේය. දැන් එහි පිල් දෙකක්ය. එක් පිලක් සිරිසේනගේ ය. අනෙක් පිල සිරිපාලගේ ය. සිරිපාල හා සිරිසේන දැන් ඇවිලී ඇත්තේය. එය බලා හිතෙන්නට ආසා හිතෙන්නේය.
එහි කුට ප්‍රාප්තිය අද (12) ය. සිරිසේනලාගේ කණ්ඩායම අද රැස් වුනේය. රැස් වී සභාපති කමට වාරණ නියෝග සහිත සිරිසේන සිය සභාපති කමින් ඉල්ලා අස්වුනේය. අනතුරුව එම පිළේ වාරණ නියෝග සහිත වැඩ බලන සභාපති විජේදාස රාජපක්ෂ සභාපති ධූරයට පත් කළේය.
ඒ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය .
සිරිසේන සහ සිරිපාල පාර්ශව හැදුන හැටි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂයේ අනුශාසකවරියවන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරුවේය. එම නඩුව ප්‍රකාරව සිරිසේනගේ සභාපතිකමට අධිකරණ වාරණ නියෝගයක් නිකුත් විය.
ඉන් අනතුරුව චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ ඇමතිවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, සහ ලසන්ත අලගියවන්න ප්‍රමුඛ කරගත් කණ්ඩායම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ මහා සභාවක් කැඳවා පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා පත් කරගත්තේය. වැඩ බලන මහලේකම් ලෙස දුමින්ද දිසානායක පත් කළේය.
ඒ සමගම එතෙක් සිරිසේන ගේ නායකත්වය යටතේ වැඩ බලන ලේකම්වරයාව සිටි දුෂ්මන්ත මිත්‍රපාල ගේ වැඩ බලන මහලේකම් ධූරයට එරෙහිව සිරිපාල පාර්ශවය වාරණ නියෝගයක් ගත්තේය.
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් දෙකකි. ශ්‍රීලනිප සිරිසේන පිල සහ ශ්‍රිලනිප සිරිපාල පිලය. එම පිල් හැදුනේ එසේය.
සිරිසේන පිලේ උත්තරය
සිරිසේන පිල මෛත්‍රීපාල සිරිසේන වෙනුවට පක්ෂයේ සභාපති ධූරයේ වැඩ බලන්නට පොහොට්ටු මන්ත්‍රීවරයෙක් වූ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ කැඳෙව්වේය. සිරිපාල පිල විජේදාස රාජපක්ෂ පක්ෂයේ වැඩ බලන සභාපති තනතුර දැරීමට එරෙහිව ද වාරණ නියෝගයක් ගත්තේය.
අද (12) සිදුවූයේ අපූරු වැඩකි. පිටකෝට්ටේ සෝලියස් ශාලාවේ සිරිසේන පිල රැස්වුනේය. එම පිලේ මෛත්‍රිපාල සිරිසේනට සභාපති ධූරය දැරිමට එරෙහි වාරණ නියෝගයකි. විජයදාස රාජපක්ෂට වැඩබලන සභාපති ධූරය දැරීමට එරෙහි වාරණ නියෝගයකි. දුෂ්මන්ත මිත්‍රපාලට වැඩබලන මහ ලේකම් ධූරය දැරීමට එරෙහි වාරණ නියෝගකි. සිරිසේන පිල රැස්වන්නේ ඒ අධිකරණ නියෝග සහිතවය. රටේ අධිකරණ ඇමතිවරයත් වාරණ නියෝග මැද රැස්වීමේ ය.
ශ්‍රීලනිප සිරිසේන පිලේ රැස්වීමේ දී මුලින්ම වාරණ නියෝගයක් සහිත සභාපති මෛත්‍රීපාල සිරිසේන සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේය. අනතුරුව වාරණ නියෝගයක් සහිත වැඩ බලන සභාපති විජයදාස රාජපක්ෂ පක්ෂයේ සභාපති බවට පත් කරනු ලැබුවේය.
සභාපති ධූරයට පත් වූ අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ අනතුරුව පැවසුවේ වාරණය ඇත්තේ වැඩ බලන සභාපති විජයදාස රාජපක්ෂට මිස සභාපති විජයදාස රාජපක්ෂට නොවන බවය. ඒ තර්කයට අනුව දැන් සභාපති බවට පත්වන විජේදාස රාජපක්ෂට සභාපති ධූරයේ වැඩ බැලීමට අධිකරණයෙන් බාධාවක් නැත.
සිරිසේන ඉල්ලා අස්වෙමින් කී කතාව
පක්ෂයේ නව ප්‍රතිසංස්කරණ ඇති විය යුතු බවට තමන් විශ්වාස කරන නිසා ඉල්ලා අස්වන බවත් පක්ෂයේ තීන්දු සහ තීරණ සම්බන්ධයෙන් උපරිම වශයෙන් මැදිහත්ව කටයුතු කරන බවත් ස්ථිරව ප්‍රකාශ කරන්නේ යැයි කී මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස්වෙමින් මෙසේ කීවේය.
“යුද්දෙට යන්න කඩුවක් දෙනවා නම් ඒ යුද්දෙට දෙන කඩුවෙ කෑල්ලක් දීලා වැඩක් නෑ. යුද්ධය කරනකෙනාට සම්පූර්ණ හොඳ කඩුවක් දෙන්න ඕන. මගේ අතේ කෑලි තියාගෙන ඒකෙන් බාගයක් යුද සෙනවියට දීලා වැඩක් නෑ. මුලු කඩුවම දෙන්න ඕන. “
වැඩ බලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාලට පැනවී ඇති වාරණ නියෝගය හේතුවෙන් පක්ෂයේ වැඩ බලන්නට ශ්‍රිලනිප සිරිසේන පාර්ශවය මෙම රැස්වීමේ දී මහලේකම් කෙනෙක් ද පත් කරගත්තේය. ඔහු නිතිඥ කීර්ති උඩවත්තය. කීර්ති උඩවත්ත පැවසුවේ දුෂ්මන්ත මිත්‍රපාලගේ වාරණ නියෝගය සමථයකට පත්වනතුරු පමණක් තමන් මෙම තනතුරේ වැඩ ආවරණය කිරීමට බලාපොරොත්තුවන බවය.
දැන් ශ්‍රීලනිප සිරිසේන පාර්ශවය ක්‍රියාත්මකය. ඔවුන් කියන්නේ ශ්‍රිලනිපයේ ඇත්තේ සිරිසේන පාර්ශවය පමණක් බවය.
සිරිපාල පාර්ශවයේ ප්‍රතිචාරය
සිරිසේන පාර්ශවය අද කැඳවූ මෙම රැස්වීමට එක්වන ලෙස ඔවුන් සිරිපාල පාර්ශවයට ද ලිඛිත ආරාධනාවක් කර තිබිණි. ඊට පිළිතුරු දෙමින් සිරිපාල පාර්ශවයේ වැඩ බලන මහලේකම් දුමින්ද දිසානායක ලිපියක් යවා පවසා තිබුණේ අධිකරණයේ පවතින වාරණ නියෝග කඩකරමින් කැඳවා ඇති මෙම රැස්විමේ දි ගනු ලබන තිරණ නිතිය ඉදිරියේ කිසිදු වලංගුතාවයක් නැති බවය.
ඔවුන් පෙන්වා දුන්නේ ඉතිහාසයේ සිදුවූ ඉතාම කණගාටු දායක කරුණ වන්නේ අධිකරණ වාරණ නියෝග කඩකිරීමින් අධිකරණය හෑල්ලු කිරීමින් රටේ අධිකරණ ඇමතිවරයා අශිෂ්ඨ හැසිරීමක් ප්‍රකට කළ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බවය.
“ විජේදාස රාජපක්ෂ කියන්නේ පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්. ඔහු පොහොට්ටුවත් එක්ක කිසිම ගනුදෙනුවක් නෑ කියලා ලිඛිතව දැනුම් දෙනවා නම් මුලින්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ඔහුට දෙනවා ද නැද්ද කියලා අපට කල්පනා කරන්න පුලුවන්.” සිරිපාල පාර්ශවයේ වැඩ බලන මහලේකම් දුමින්ද දිසානාය මාධ්‍යයට කීවේය.
මේ විධායක සභා රැස්වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අසල ආරක්ෂාව තර කර තිබිණි .
වැඩේ මරුය. හෙට සිදුවන්නේ මොනවාදැයි කුතුහලය දනවන තරමටම වැඩේ මරුය. තමන්ව අවුරුදු ගණනක් පාලනය කළ තමන් විසින්ම පත් කරගත් විධායක ජනාධිපතිවරුන් දෙදෙනෙක් රටට දෙන ආතල් එක බලා සතුටු වෙනවා ද අඬනවා ද කියන එක ඔබ තීන්දු කළ යුතුය.
මේ ලියන අපි නම් ෆුල් ෆන් එකේය.







