තම දේශපාලන බලය පාවිච්චි කරමින් බදු වංචා ඇතුළු අයථා ඉපැයීමවලට සම්බන්ධ ලෝකයේ ප්‍රබලයින් ඇතුළු දේශපාලකයන් තුන්සියයකගේ පමණ අයථා ගනුදෙනු හෙළි කරමින් නිතුක් වූ නවතම වාර්තාව වන පැන්ඩෝරා පේපර්ස් හි ශ්‍රි ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ ගේ නමද සඳහන්ව තිබේ.
ගවේෂණාත්මක මාධ්‍යව්දීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය (ICIJ) විසින් එලි දක්වන ලද මෙම වාර්තාවේ නිරූපමා රාජපක්ෂ ගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් සම්බන්ධ වූ ගනුදෙනු කිහිපයක් පිළිබඳව අනාවරණය කර ඇති අතර එහි නඩේසන් හඳුන්වා දී ඇත්තේ ශ්‍රිලංකාවේ දේශපාලඥවරියකගේ සැමියා ලෙසිනි.
2015 වසර වන තෙක් දේශපාලනයේ රැඳී සිටි නිරූපමා රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි අතර ඇය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම ඥාතියෙකි.
මෙම වාර්තාවෙන් අනාවරණය කර ඇත්තේ නිරූපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා රහසිගත සමාගමක් භාවිත කරමින් ලන්ඩනයේ සහ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුඛෝපභෝගී මහල් නිවාස සහ දේපළ මිලදී ගැනීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවය.
කලක් කොළඹ හිල්ටන් හෝටලය අයත් හොටෙල් ඩිවලොපර්ස් සමාගම් සභාපතිවරයාව සිටි තිරු නඩේසන් ද මෙරට මෙන්ම විදේශීය රාජ්‍ය නායකයන් ඇතුළු දේශපාලන ප්‍රබලයන් සමඟ සමීප ඇසුරක් පැවත්වූ ව්‍යාපාරිකයෙකි.
ඔහු විසින් තවත් රහස් සමාගම් කිහිපයක් හරහා අකර්ෂණීය උපදේශන සේවා සැපයීමේ කොන්ත්‍රාත් ලබා ගැනීමට සහ විශිෂ්ඨ ගණයේ කලා නිර්මාණ මිලදී ගැනීමේ ව්‍යාපාර පවත්වාගෙන ගිය බවටද පැන්ඩෝරා පේපර්ස් වාර්තාව විසින් එළිකරනු ලැබ ඇත.
2018 වසරේදී මෙම සමාගම් අතරින් එකක් වන පැසිෆික් කොමොඩිටීස් සමාගම විසින් වටිනා සිතුවම් 31ක් සහ තවත් දකුණු ආසියාතික කලා නිර්මාණ ගණනාවක් ස්ටිව්සර්ලන්තයේ ජිනීවා හි අධි ආරක්ෂිත ගබඩාවක් වෙත කිසිදු බදු ගෙවීමකින් තොරව රැගෙන ගොස් ඇති බවද හෙළි කරන මෙම ගවේශකයන් 2011 වන විට නඩේසන් ගේ මෙම සමාගම් සතුව පැවැති වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 160කට අධික බව පෙන්වා දී තිබේ.
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලයාර් සහ ඔහුගේ බිරිය විසින් සිදු කරන ලද බදු වංචාවක් ඇතුළු දේශපාලකයන් ගණනාවකගේ අයථා ගනුදෙනු සහ අයථා ඉපයීම් පිළිබඳව සකස් කරන ලද මෙම අංග සම්පූර්ණ වාර්තාව සඳහා ලෝකය පුරා ගවේෂණාත්මක මාධ්‍යෙව්දීන් ගණනාවක් සහභාගී වී ඇති බව සඳහන් වේ.







