දුම්රිය ගාස්තුවට සමගාමීව බස් ගාස්තුවද වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙම ඉල්ලීම කිරීම සඳහා ප්‍රධාන හේතුව දුම්රිය සේවය පාඩු ලබන බවට සිදුකරන චෝදනාව බවත්, බස් ගාස්තුවට සමපාතව දුම්රිය ගාස්තුව වැඩිකළහොත් එම චෝදනාවෙන් නිදහස් වී දුම්රිය සේවයේ මෙහෙයුම් වියදම කළමනාකරණය කරගත හැකි බවත්ය.
එහෙත් මේ යෝජනාව ඉදිරිපත් කළ විට රජය පාර්ශවයෙන් ප්‍රකාශ කළේ දුම්රිය සේවාව මහජන සේවවාක් ලෙස පවත්වාගත යුතු බව යැයි කී සාමාන්‍යාධිකාරීවරයා ගාස්තු වැඩි කිරීමට රජය එකඟ නොවුන බව කීවේය.
“ රජයෙන් උපදෙස් ලැබුනෙ පීඩාවට පත් වූ ජනතාවට සේවාවක් විදිහට දුම්රිය සේවාව පවත්වා ගන්න කියලා. එහෙනම් මම ඉල්ලා සිටිනව අවුරුද්ද අවසානයේ දී ප්‍රගතිය බලනකොට දුම්රියේ ගමන් කරන මගීන්ගෙන් ලැබෙන ආදායම ගණනය කරලා අසාධාරණ විදිහට බනිනේ නැතිව, ආදායම මදි කියලා අඩුපාඩු කියන්නෙ නැතිව දුම්රිය මගියෙකුගේ ටිකට් එකේ ගාස්තුව බස් ගාස්තුව හා සමාන ගාස්තුවක් කියලා උපකල්පනය කරලා ප්‍රගතිය බලන්න කියලා. “
“අපි බස්ගාස්තුව හා සමාන කළොත් වාර්ෂිකව මෙහෙයුම් වියදම අපි ආදායමෙන් පියවා ගන්නවා.“
දුම්රිය 350ක් දුම්රයි ගමන්වාර 1050ක් ධාවනය කරන බවත් එක දුම්රියක ආසන්න වශයෙන් මගීන් 1050ක් ගමන් කරන බවත් කී සාමාන්‍යාධිකාරීවරයා දිනකට මගීන් ලක්ෂ තුන හමාරක් හතරක් අතර ප්‍රමාණයක් දුම්රියෙන් ගමන් කරන බව පෙන්වා දුන්නේය.
මේ පිරිස නිසි ලෙස දුම්රිය ටිකට් පත් සහිතව ගමන් කරන්නේ ද යන්න සෙවීම සඳහා ප්‍රවේශපත්‍ර පරීක්ෂණ වැඩි කර ඇතැයි ද සාමාන්‍යාධිකාරීවරයා කීවේය.