දිවිනැගුම නඩුවට අදාළ සියලු චෝදනාවලින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සමග අමාත්‍ය බැසිල් රාජපක්ෂ නඩුවෙන් නිදහස් කර තිබේ.
කොළඹ මහාධිකරණය විසින් මෙම තීන්දුව අද (01) ප්‍රකාශයට පත් කරන ලදී.
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ නඩුවේ විත්තියේ නීතිඥවරයාගේ ඉල්ලීමක් පරිදි විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදහස් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව පෙබරවාරි මස පළමුවැනිදා ප්‍රකාශයට පත් කරන බව අධිකරණය ජනවාරි මාසයේදී ප්‍රකාශ කළේය.
මෙම නඩුවට අදාළ සියලු චෝදනාවලින් තම සේවාදායකයන් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
රුපියල් මිලියන 29.4ක මුදලක් වැය කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ රුව සහිත ලක්ෂ 50ක ලිත් මුද්‍රණය කළැයි යන සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණි.
2015 ජනවාරි – 2015 ජනාධිපතිවරණයේදී මැතිවරණ ප්‍රචාරක ද්‍රව්‍ය ලෙස භාවිත කිරීම සඳහා මෙම ලිත් මුද්‍රණය කර තිබුණි.









