සූරියවැව නුවන් ජයසේකර –
බිරිය විදෙස්ගතව සිටියදි සිය 10 හැවිරිදි දියණිය අඹුකමට ගත් තිරිසන් පියෙකුට වසර 54ක සිර දඩුවමක් නිමය කර රුපියල් ලක්ෂ 10ක වන්දියක් සමග 30,000ක දඩයක් ගෙවන්නැයි අධිකරණය අද (09) නියෝග කළේය.
සිය සුජාත දියණිය දූෂණය කළ හම්බන්තොට සාමෝදාගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි දෙදරු පියෙකු මෙසේ දණ්ඩනයට ලක්වූයේ හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා ගේ නියෝග ප්‍රකාරවය.
සිය බිරිය විදෙස්ගත රැකියාවකට ගොස් සිටියදී බිමත්ව පැමිණි මෙම චුදිත පියා 2015.04.01 දින සිට අවස්ථා කිහිපයකදිම සිය බාලවයස්කාර දැරිය අපයෝජනයට ලක් කර තිබේ.
පියාගේ කරදර ඉවසාගත නොහැකිව දියණිය විසින් මේ පිළිබඳව ප්‍රදේශයේ ළමා සමාජයක බාරකාරියකට පවසා ඇති අතර පසුව ඔවුන් විසින් දැරිය හම්බන්තොට පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු හම්බන්තොට පොලිසිය විසින් චුදිත පියා අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එහිදි පැවති මුලික නඩු විභාගයෙන් පසු 2021.05.20 වන දින නිතිපති වරයා විසින් චුදිතට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා 03ක් යටතේ නඩු පවරන ලදි. ඒ අනුව පැවති නඩු විභාගයේදී පැමිණිල්ල විසින් චුදිතට එරෙහිව නගා තිබූ අධි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් චූදිත අදාල අධි චෝදනා තුන සඳහාම වැරදි කරු කරන ලදි.
එහිදි චුදිත වෙනුවෙන් පෙනී සිටි නීතීඥ වරයා චුදිතට දඩුවම් ලිහිල් කර ගැනිම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතීඥ ශෙහාන් මුස්තාපා කරුණු දක්වමින් මෙලෙස පැවසීය.
“ගරු ස්වාමීනි… චුදිත විසින් සිදුකර ඇත්තේ බරපතළ වරදක්. මෙය සමාජයේ කිසිවෙකුත් අනුමත කරන ක්‍රියාවක් නොවෙයි. ඒ අනුව චුදිතට දඩුවම් නියම කිරීමේදී වින්දිත දැරියගේ වයස පිළිබඳවත්, අදාල චුදිත වින්දිත දැරියගේ පියා යන්න පිළිබඳවත් අවධානය යොමු කරන ලෙසත්, සමාජයට ආදර්ශයක් සැපයිය හැකි ආකාරයේ ඉහළ දණ්ඩනයක් නියම කරන ලෙසත් ඉල්ලා සිටිනවා…“ යැයි පැවසිය.
ඒ අනුව ඉදිරිපත් වු කරුණු සලකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා චුදිතට එක් චෝදනාවකට වසර 18 බැගින් චෝදනා 03 සදහා වසර 54ක සිර දඩුවමක් නියම කළේය.
එම දඩුවම් කාලය වසර 18කින් සමගාමීව ගෙවී යායුතු බවටද නියම කෙරුණි. ඊට අමතරව එක් චෝදනාවකට රුපියල් 10,000 බැගින් චෝදනා 03 සඳහා රුපියල් 30,000ක දඩයක් නියම කෙරුණු අතර දඩය නොගෙවන්නේ නම් තවත් මාස 18ක සිට දඩුවමක් නියම කෙරුණි.
එමෙන්ම වින්දිත දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා චුදිතට නියම කෙරුණු අතර එය නොගෙවන්නේ නම් අමතර මාස 24ක සිර දඩුවමක්ද නියම කෙරුණි.







