අපේ රටේ වසරක් තුළ පාසල් පද්ධතියෙන් පමණක් කාබන් පෑන් මිලියන 10.8ක් පරිසරයට එකතු වෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ඊට අමතරව රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන හා එක් එක් පුද්ගලයින් විසින් භාවිතයෙන් අනතුරුව පරිසරයට මුදා හරින හිස් කාබන් පෑන් ප්‍රමාණය කොතෙක්දැයි මෙතෙක් ගණනය කර නොමැති බව ඇමතිවරයා කියයි.
මෙසේ අවධිමත් ලෙස පරිසරයට මුදා හරින කාබන් පෑන් සහ දත් බුරුසු එකතු කිරිම සදහා විශේෂ බහාලුම් 3000ක රාජ්‍ය ආයතනවලට බෙදා දී තිබෙන අතර ලබන වසර වන විට තවත් එම බහළුම් 8000ක් රාජ්‍ය හා පුද්ගලික ආයතනවලට ලබා දීමට කටයුතු කරන බව සදහන් කරන ඇමතිවරයා . එයින් බහාලුම් 4000ක් පාසල් පද්ධතියට ලබා දෙන බවද සදහන් කරයි.
මේ එක බහාළුමකට කාබන් පෑන් 3000ක්, දත්බුරුසු 500ක් ද බහාලිය හැකි වන අතර වසර අවසානයේ මෙම එකතුකරන ලද ද්‍රව්‍ය INSEE සමාගම විසින් විනාශ කිරීමට පියවර ගැනීමේ වැඩ පිළිවෙළක් ද සකස් කර ඇත.
“අපේ රටේ පාසැල් පද්ධතිය තුළ පමණක් දිනකට කාබන් පෑන් කිලෝග්‍රෑම් 100 – 120ත් අතර ප්‍රමාණයක් බැහැර කරනවා. කිලෝ ග්‍රෑම් එකකට කාබන් පෑන් 300ක් පමණ ඇතුළත් වෙනවා. ඒ අනුව එක් දිනයක් තුළ පාසැල් පද්ධතියෙන් පරිසරයට එක් වෙන හිස් කාබන් පෑන් ප්‍රමාණය ලක්ෂ 09 කට ආසන්නයි. “
“ලැබී තිබෙන තොරතුරු අනුව අඩුම තරමින් අවුරුදු 450ක් පමණ කාබන් පෑන් දිරාපත් වීමට කල් ගත වෙනවා. ඉන්පසුව ඒවා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශුබවට පත්වෙනවා“
“අප රටේ දත් බුරුසු භාවිතය සම්බන්ධව තවමත් පිළිගත් තොරතුරු ලැබී නැහැ. නමුත් සමස්ත ලෝකයම ගත් කළ දිනකට බැහැර කරන දත් බුරුසු ප්‍රමාණය බිලියන 23ක් බව සඳහන් වෙනවා.“
පරිසර අමාත්‍යාංශය විසින් කාබන් පෑන් හා දත් බුරුසු බැහැර කිරීමේ වැඩ සටහන සඳහා මෙම වසර තුළ රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇත.







