ලෝක ආහාර සංවිධානය මගින් ක්‍රියාත්මක කෙරෙන පාසල් දරුවන්ගේ දිවා ආහාර ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙනැවිත් වේයන්ගොඩ රජයේ ගබඩාවේ තැන්පත් කර තිබූ සහල් තොගය මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
මේ සහල් සම්බන්ධව නිරන්තරව ලැබෙන පැමිණිලි හේතුවෙන් සහල්වල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගේ උපදෙස් මත වේයන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහල් තොගයේ සාම්පල දහසකට අධික ප්‍රමාණයක් රැගෙන රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ.
දින දෙකකට පෙර වේයන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ලැබී තිබුණ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවට අනුව සාම්පලවලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් කෘමි හානියට ලක් වී ඇති බවත් එම සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමක ඇති බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේය.
පවතින තත්ත්වය හමුවේ අදාළ ගබඩාවෙන් සහල් තොග නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇතැයි උපුල් රෝහණ හෙළි කළේය.