ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පත්කර ගැනීම සඳහා යෝජනා කළ නම් අනුමැතිය සඳහා දැනට සති තුනකට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යවා ඇතත් තවමත් ඊට අනුමැතිය නොලැබීම තුළ එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය මුල් කරගෙන විශාල ගැටලුවක් නිර්මාණය වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් සංචාරය යෙදී ඇත්තේ ලබන 18 වැනිදාටය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා එදිනට දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
නමුත් මේ වන තුරුත් තරගාවලියට සහභාගීවන ජාතික ක්‍රිකට් කණ්ඩායම නිල වශයෙන් තෝරාගෙන නැත. දැනට සංචාරය සඳහා සහභාගීවන සංචිතයක් පල්ලෙකැලේ පුහුණු සැසිවලින් අනතුරුව තෝරාගෙන ඇතත් එම සංචිතය තෝරා ගත් තේරීම් කමිටුවේ නෛතික වලංගු භාවය සම්බන්ධව ද ප්‍රශ්න මතු වෙමින් ඇතැයි පැවසේ.
පවතින විධි විධාන අනුව ජාතික සංචිතයකින් ජාතික කණ්ඩායම තෝරා ගැනීම කළ යුත්තේ සංචාරයට දින 21කට පෙර බව සඳහන් කරන එම ආරංචි මාර්ග සංචාරයට තව ඇත්තේ දින 18ක් වුවත් තවමත් ජාතික කණ්ඩායම තෝරා ගැනීම සඳහා තේරීම් කමිටුවක් නම් කර නැති ආකාරය පෙන්වා දෙයි.
දකුණු අප්‍රිකානු සංචාරය යෙදී ඇත්තේ දෙසැම්බර් 18 වැනිදාට ය. ඊට පෙර සපුරා ගත යුතු සෞඛ්‍ය පිළිවෙත් රාශියක් ද වන බව පැවසේ.







