රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද (09) නියම කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තනූජා ලක්මාලී ජයතුංග මෙම නියෝගය නිකුත් කළාය.
ඒ අනුව සැකකරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්රාත්වරිය සැකකරුට දිවයිනේ බන්ධනාගාරවලට ඇතුළු වීම සහ විදේශ ගමන් තහනමක් පනවනු ලැබුවාය. විදේශ ගමන් බලපත්රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කෙරුණි.
අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරනු ලැබූ සිරකරුවන් අතරට එක් කර නිදහස් කිරීම සම්බන්ධව කෙරෙන විමර්ශනයට අදාලව තුෂාර උපුල්දෙනිය අත් අඩංගුවට ගෙන තිබිනි.







