කිසිම ඖෂධයක් හෝ ශල්‍ය උපකරණයක් බාහිරින් රැගෙන ඒමට නිර්දේශ නොකරන ලෙස ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා ඇතුළු පාලන අධිකාරිය විශේෂඥ වෛද්‍යවරුන් වෙත නිර්දේශ කිරීමත් සමගම රෝහලේ ප්‍රතිකාර කටයුතු බිහිසුණු බිඳ වැටීමකට ලක්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.
මේ නිර්දේශය සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සගේ ගෝලයා ලෙස පත්වුන ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා විසින් විශේෂඥ වෛද්‍යවරුන් වෙත ලබා දී ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරයා පසුගිය සතියේ කැබිනට් හමුවට සහභාගී වෙමින් විශේෂඥ වෛද්‍යවරුන් විසින් රෝහල්වල නැති ඖෂධ පිටතින් රැගෙන ඒමට නිර්දේශ කිරීම වෛද්‍ය ප්‍රසම්පාදනයේ වැදගත්ම කොටසක් ආවරණය කළ බවත් ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නගේ සිද්ධිය දූෂණයක් සම්බන්ධ අනාවරණයවන සිද්ධියක් බැවින් එම සිද්ධිය උක්ත ප්‍රසම්පාදනයට බාධාවක් කර නොගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කර තිබිය දී ය.
මේ තත්ත්වය තුළ මේ වනවිට රෝහලේ අක්ෂි ශල්‍ය කර්ම, විකලාංග ශල්‍යකර්ම, හෘද රෝග ශල්‍යකර්ම මුලුමනින්ම නැවතී ඇති අතර උගුර කණ නාසය පිළිබඳ ශල්‍යකර්ම අඩ වශයෙන් සිදුකරන මට්ටමට පත් වී ඇතැයි වාර්තා වේ.
මීට දින කීපයක් පෙර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විකලාංග සැත්කම් කිරිමට අවශ්‍ය ශල්‍ය උපකරණ නොමැතිව විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලා අස්වීමත් සමඟ විකලාංග සැත්කම් නතර වූ අතර එම වෛද්‍යවරයාව පෞද්ගලික රෝහලක සේවය සදහා සාදරයෙන් පිලිගෙන ඇති බවද පැවසේ.
වකුගඩු බද්ධ ශල්‍යකර්ම සිදුකිරීම මේ වනවිටත් අදාල විශේෂඥ වෛද්‍යවරයාගේ දැඩි ප්‍රතිරෝධතා මධ්‍යයේ රෝගී ජීවිත අනතුරට ලක් කෙරෙමින් විචලනය කෙරෙන බව ද රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.







