සුරියවැව නුවන් ජයසේකර –
තිස්සමහාරාම රන්මිණිතැන්න ප්‍රදේශයේ සූදු පොලක් වැටලීමේදී එහි සිටි පුද්ගලයෙකුට පොලිසිය විසින් වෙඩි තැබූ බවත් , එලෙස වෙඩි වැදුණු පුද්ගලයා පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඔහුට අභූත චෝදනා කිහිපයක් ගොනුකරමින් තිස්සමහාරාම පොලිසිය ඉතා අසාධාරණ ලෙස පරීක්ෂණ කටයුතු මෙහෙයවන බවත් පවසමින් ඊට විරෝධය පා තිස්සමහාරාම කතරගම ප්‍රධාන මාර්ගයේ රන්මිණිතැන්න පාලම අසලදී පිරිසක් අද (03) විරෝධතාවයක නිරත වූහ.
විරෝධතාවය සඳහා වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයාගේ ඥාතීන් පිරිසක් හා අසල්වැසියන් පිරිසක් එක් වී සිටියහ.
“නීතිය කඩකල සාජන් තරංග වහා අත්අඩංගුවට ගනු, ගොරකා දඩමස් කරන ශ්‍රි ලංකා පොලීසිය, සැරයන් තරංගගේ පාතාල ක්‍රියා පිළිකුළෙන් හෙලාදකිමු, අනිතිකව අත්අඩංගුවට ගත් තරුණයා වහා නිදහස් කරනු“ ආදි වැකි සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා කරුවන් පැය දෙකක පමණ කාලයක් විරෝධතාවයේ නිරත විය.
පසුගිය 31 වන දින තිස්සමහාරාම රන්මිණිතැන්න ප්‍රදේශයේ සූදු පොලක් වැටලිමට ගිය අවස්ථාවේ පොලිස් නිළධාරියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමේන් අංක 155, කුඩා ගම්මාන 08, රන්මිණිතැන්න ලිපිනයේ පදිංචි හේවා කොකාවලගේ රුවන් කුමාර නැමැති පුද්ගලායගේ දකුණු අත උරහිස ප්‍රදේශයට තුවාල සිදුවිය.

සිද්ධියෙන් තුවාල ලැබු රුවන් කුමාර පොලිසිය විසින්ම දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
විරෝධතාකරුවන් පැවසුවේ පොලිසිය රුවන් කුමාර තරුණයාට වෙඩි තැබීමෙන් පසු ඔහු ඉතා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඔහු සන්තකයේ ගිනි අවියක් තිබුණු බවට චෝදනා ගොනු කර ඇති බවය.
ඔහු පොලිස් නිළධාරීන් සමග පොර බැදූ බවටත් අභූත චෝදනා නගමින් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඔහුව සිරගත කිරීමට තිස්සමහාරාම පොලිසිය කටයුතු කර ඇති බවත් ඥාතිහු කියති.

මේ හේතුව නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි තැබීම සිදුකළ පොලිස් නිළධාරීයා තවමත් නිදහසේ රාජකාරි සිදුකරමින් සිටින බවත්, අගතියට පත් තරුණයා නිරපරාදේ සිරගත කර ඇති බවත් විරෝධතා කරුවන් පැවසිය.
මේ වන විට මෙම සිදුවීමට අදාලව සිදුකරන නීතිමය කටයුතුද තිස්සමහාරාම පොලිසිය විසින් ඉතා අසාධාරණ ලෙස මෙහෙයවමින් සිටින බවටත් ඔවුහු චෝදනා කරති.
විරෝධතා කරුවන්ගෙන් පිරිසක් විරෝධතාවය අවසානයේදි අදාල තරුණා නිදහස් කරන ලෙස තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති වරයා හමු වි ඉල්ලීමක්ද කළහ.







