“මගේ ප්‍රහාරයට ලක්වෙන්නේ මේ රට රවට්ටපු මේ රටේ ආණ්ඩු. ඒ අය මගේ ප්‍රහාරයට ලක්වෙනවා. ඔවුන් ඒකට බය වෙලා ඉන්න බව දැන් පේනවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
යහපාලන ආණ්ඩු සමයේ මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කළ “යකඩ මිනිසා” නම් වැඩසටහනේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අද මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමට ලක්වීමෙන් අනතුරුව ඔහු මේ අදහස් පළකළේය.
“යකඩ මිනිස්සු කියලා ව්‍යාපෘතියක් තිබ්බේ නෑ සම්මාන උළෙලක් තිබ්බේ. ඒකෙ වේගා මෝටර් රථය හදපු කෙනාට, හෙළකුරු හදපු කෙනාට, පොහොර විශේෂයක් ගෙනත් නිෂ්පාදනය කරපු කෙනාට, රොබෝ කෙනක් හදපු පුද්ගලයා.ඒ වගේ 15 දෙනකුට සම්මාන දුන්නා. ඒ අය තමා යකඩ මිනිස්සු. මගේ ඡායාරූපයක්වත් ඒ බිල්බෝඩ් එකකවත් තිබුණේ නෑ. මම අනිත් අය වගේ කටවුට් ගහගෙන දේශපාලනය කළේ නෑ. යකඩ මිනිහාට බයවෙලා තමයි මේ ඔක්කොම දඟලන්නේ.
මං අවුරුදු 6 කට කලින් රාජපක්ෂලාගේ කෙරුවාව කියලා තියෙනවා. අද ඒක පේනවනේ වෙලා තියෙන හැටි. මං කියපු ආලපාලු ආර්ථිකය අකුරක් නෑර අද වෙලා තියෙනවා. කන්න නෑ මිනිස්සුන්ට. කිරිපිටි ටික නෑ. තව මාස 3කින් සාගතයක් එනවා. ඒක ඉතින් මහින්ද රාජපක්ෂලාටම අද ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. අද මහබැංකු වංචාව වගේ දහස් ගුණයකින් කන කෑමවලින් හැමදේකින්ම ගසාකනවා. කෝ අද මහබැංකු හොරු ඇල්ලුවද? අර්ජුන මහේන්ද්‍රන් කනෙන් අල්ලන් ගේනවා කිව්වේ කෝ ගෙනාවද? අපි ආවොත් සීනි හොරුන්ට, සුදුලූනු හොරුන්ට, විදුලි බලාගාර අමෙරිකාවට විකුණපු අයට, ඖෂධ දත්ත මකන හොරුන්ට එරෙහිව අපි ක්‍රියාකරනවා” යැයි ද මන්ත්‍රීවරයා එහිදී කීය.