නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දීල් තොණ්ඩමන් තමන් වෙත ව්‍යවස්ථාවෙන් ලැබි ඇති බලය ඉක්මවා යමින් කටයුතු කිරීම වළක්වාලමින් භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබා ගත්තේය.
ඛනිජ සම්පත් හා ඒවායේ කැණීම් සම්බන්ධ හා ඊට අදාළ බලපත්‍ර නිකුත් කිරීමේ පූර්ණ බලතල මධ්‍යම ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වන භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙත තිබිය දී නැගෙනහිර පළාත තුළ සිය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අවහිර කරමින් ඒ සඳහා පළාත් සභාවේ අනුමැතිය ලබා ගත යුතු බව දන්වා ව්‍යාපෘති නතර කිරීම සම්බන්දව එම කාර්යාංශය අධිකරණය හමුවේ සිය පෙත්සම ගොනු කර තිබිණි.
භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් දින 14ක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබීය.
පෙත්සම්කාර භූ විද්‍යා හා පතල් කාර්යාංශය අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සමින් සඳහන් කර තිබෙන්නේ ඛනිජ කැණීම්, ඊට අදාළ බලපත්‍ර නිකුත් කිරීම්, ඒවා කළමනාකරණය කිරීම් යනාදී කටයුතුවල පූර්ණ බලය මධ්‍යම රජය යටතේ ඇති තම කාර්යාංශය වෙත පැවරී තිබෙන බවයි.
ඒ අනුව පෙත්සම්කාර කාර්යංශය අධිකරණය හමුවේ පවසන්නේ තමන්ට හිමි ව්‍යවස්ථාපිත බලය අනුව විමර්ශන සිදුකර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඛනිජ වැලි කැණීම් සිදුකළ හැකි වර්ග කිලෝමීටර් 13ක භූමි භාගයක් හඳුනාගෙන එම ප්‍රදේශයේ කැණීම් සිදුකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවලින් අවශ්‍ය අනුමැතිය ලබා ගත් බවය.
අනතුරුව අදාළ ඉඩමේ අවශ්‍ය කැණීම් කටයුතු කිරීම සඳහා “මිඩ් වෙස්ට් හෙවි සෑන්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ්” නමැති සමාගම සමග ගිවිසුම්ගත වී ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කර තිබේ.
බලපත්‍රය ලබා ගැනීමෙන් පසු අදාළ සමාගම විසින් කැණීම් කටයුතු ආරම්භ කර ඇත.
ඒ අවස්ථාවේ දී නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග මත නැගෙනහිර පළාත් ලේකම්වරයා විසින් ඉකුත් ලිපියක් යොමු කරමින් පළාත් ඛනිජ ඇගයීම් කමිටුවේ වෙත අදාළ යෝජනාව යොමුකර අවශ්‍ය අනුමැතිය ලබාගත යුතු බවත් එතෙක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසර දිය නොහැකි බවත් අදාළ සමාගම වෙත දැනුම්දී තිබේ.
එහෙත් ඛනිජ සම්පත් හා ඒවායේ කැණීම් සම්බන්ධ හා ඊට අදාළ බලපත්‍ර නිකුත් කිරීමේ පූර්ණ බලතල පැවරී තිබෙන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙන භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙතය.
ඛණිජ සම්පත් හා සම්බන්ධ කටයුතු පළාත් සභා විෂය පථයට අදාළ නොවේ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කර තිබෙන මෙම නියෝගය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභා වෙත පැවරී තිබෙන බලතල අභිබවා ගොස් කටයුතු කිරීමක් බව ඒ අනුව පෙත්සම්කාර ආයතනය පවසයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය අභිබවා ගොස් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම ලිපිය මත පදනම්ව ඉදිරි පියවර ගැනීම වැළැක්වීමේ අතුරු නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලමින් භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබිණි. – දෙරණ