ලලිත් චාමින්ද –
රටේ පැවති ආර්ථික අර්බුදයත් සමග රජය විසින් විදේශ ණය වාරික හා පොලි ආපසු ගෙවීම 2022 වර්ෂයේ දි .තාවකාලිකව නතර කරණු ලැබිය. ඒ සමග විදේශිය ණය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වු මහාපරිමාන සංවර්ධන ව්‍යාපෘතිද අතරමග නතර විය. පසුගිය කාලයේ චීන එක්සිම් බැංකුවේ හෙවත් චින ආනයන හා අපනයන බැංකුවෙන් ලබාගත් ණය මුදල් මත මෙරට මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්ම කරණු ලැබීය. චීන එක්සිම් බැංකුව විසින් ණය මුදල් ලබාදීම නතර කිරීම හේතුවෙන් ඇතැම් සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීමට සිදුවිය. කෙසේවුවද ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග චීන එක්සිම් බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක කරනු ලැබු සංවර්ධන ව්‍යාපෘති යලි ආරම්භ කිරිමට හැකිවී ඇත.
-
චීන එක්සීම් බැංකුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ආණ්ඩුවේ කතා…
ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත්කොට ඇති නිවේදනයට අනුව ඩොලර් බිලියන 4.2 ක ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව චීනයේ අපනයන-ආනයන බැංකුව (EXIM) සමඟ අත්සන් කළ බව සඳහන් කොට තිබුණි. එම නිවේදනයට අනුව මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මගින් සැළකිය යුතු ණය සහන සැලසෙන අතර, අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සඳහා වැඩි අරමුදල් වෙන්කිරීමට සහ තීරණාත්මක යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහනදායී මූල්‍යකරණය නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට ඉඩ සැලසෙනු ඇත.
ශ්‍රී ලංකාව සිය ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 4.2ක් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා චීන අපනයන-ආනයන බැංකුව සමඟ ණය ගිවිසුමක් අත්සන් කළ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ ද සදහන් කොට තිබුණි. ණය වෙනුවෙන් සහනයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටියේ 2022 ජනවාරි මාසයේදීය. ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරිමත් සමග අතරමග නවතා දමා තිබු ව්‍යාපෘති සදහා වෙන්ව තිබු ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් මෙරටට ලැබිමට නියමිතව ඇති බැව් භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කොට තිබුණි.
මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ චින අපනයන ආනයන බැංකුව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරිම සඳහා ගිවිසුම්වලට එළඹිමත් සමග මෙම මුදල් භාවිතයට ගැනීමට හැකිවනු ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කොට තිබුණි. ඒ අනුව කඩවත මිරිගම අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු යලි ආරම්භ කිරීමට හැකිවන අතර දැනට වසර තුනක පමණ කාලයක සිට මෙම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නතර වි ඇත. තවද මුල්‍ය අර්බුදය නිසා නතර වි ඇති මාර්ග ව්‍යාපෘතිවලින් බහුතරයක් යලි ආරම්භ කිරිමට හැකිවන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.
-
චීන බැංකු ණය දෙන හැටි
චිනයේ ඇති රාජ්‍ය බැංකු අතර චීන අපනයන හා ආනයන ( එක්සිම්) බැංකුවද ලෝකයේ රටවල් වල විවිධ ව්‍යාපෘති සඳහා ණය ලබාදෙන බැංකුවකි. චීන බැංකුවලින් ණය ලබා දෙන්නේ අධික පොලි අනුපාතයක් යටතේය. එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ විලියම් සහ මේරි විශ්ව විද්‍යාලයේ පර්යේෂණාගාර දත්තවලට අනුව වසර 18ක කාලයක් තුළදි චීනය විසින් රටවල් 165ක් සඳහා ඩොලර් බිලියන 843 ක් වටිනා යටිතල පහසුකම් ව්‍යාපෘති 13,427 කට මුදල් හෝ ණය ලබා දි ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකොරල සඳහන් කරණ ආකාරයට මෙම වර්ෂයේ මාර්තු මස 30 වැනිදින වනවිට චීන එක්සිම් බැංකුව මගින් මෙරට ව්‍යාපෘති සඳහා ලබාගෙන ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3993කි . ගෙවිම් පැහැර හැර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 904කි.
වෙරිටේ රිසර්ච් ආයතනය මගින් නිකුත්කොට තිබු වාර්තාවකට අනුව පුත්තලම ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය, හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොල ව්‍යාපෘතිය සඳහා චීන ආනයන අපනයන බැංකුවෙන් ණය ලබාගෙන තිබුණි. එම ව්‍යාපෘති සඳහා ගෙවීමට ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1902කි.
බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලිබලාගාර ව්‍යාපෘතිය, කොළඹ නෙළුම් කුළුණ ව්‍යාපෘතිය සඳහාද චිනයෙන් ණය ලබාගෙන තිබු අතර එම ව්‍යාපෘති සඳහා ගෙවීමට ඇති ණය මුදල ඩොලර් මිලියන 140කි. ඒ අනුව රාජ්‍ය සංස්ථා විසින් චීනයට ගෙවිය යුතු ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2042කි.
-
මධ්‍යම අධිවේගී මාර්ගය
ශ්‍රිලංකා රජය විසින් විදේශිය ණය වාරික හා පොලි ගෙවිම නතර කිරීමත් සමග චීන අපනයන හා ආනයන බැංකුව විසින් මධ්‍යම අධිවේගි මාර්ගයේ පළමු කොටස සඳහා ලබාදීමට එකඟවු ණය මුදල් ලබාදිම නතර කරනු ලැබීය. ඒ සමග මධ්‍යම අධිවේගි මාර්ගයේ මිරීගම සිට කඩවත දක්වා වු කොටසේ ඉදිකිරීම් කටයුතු අතරමග නතර කරන ලදී . මෙම ව්‍යාපෘතිය නතර කිරීම නිසා මෙරට ශ්‍රමිකයින් 2000ක පමණ පිරිසකට රැකියා අහිමිවිය.
චීනයෙන් ගෙන්වනු ලැබු ශ්‍රමිකයින් කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර නැවත චීනය වෙත පිටත් කර යැවිමට කොන්ත්‍රාත්කාර සමාගමට සිදුවිය. මෙම තත්ත්වය නිසා 2022 ජුනි මස සිට 2023 මැයි මස දක්වා කාලය තුළ සේවක පිරිස් චිනයට පිටත්කර යැවිමේදී දැරිමට සිදුවු ගුවන්ගමන් බලපත්‍ර ගාස්තු, ඇතුළු අනිකුත් වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 40.66 සහ යෙන් මිලියන 4.96ක මුදලක් කොන්ත්‍රාත්කරු විසින් ව්‍යාපෘතියෙන් ඉල්ලා තිබුණි.
-
කොන්ත්‍රාත්කරුවන්ගේ පැටිකිරිය
මධ්‍යම අධිවේගි මාර්ගයේ කඩවත සිට මිරිගම දක්වා වු කොටසේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රුපියල් මිලියන 176,785කි. ඉන් රුපියල් මිලියන 158386 ක් චිනයේ ආනයන හා අපනයන බැංකුව විසින් ලබා ගැනීමට නියමිත විය. වර්ෂ 2020 සැප්තැම්බර් මස 15 වැනිදින ආරම්භ කළ අතර මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු 2024 සැප්තැම්බර් මස 14 වැනිදින අවසන් කිරීමට නියමිතව තිබුණි..
මධ්‍යම අධිවේගි මාර්ගයේ කඩවත සිට කොස්සින්න දක්වා වු කොන්ත්‍රාත් ගිවිසුම 2016 වර්ෂයේ ජුනි මස 20 වැනි දින අත්සන් කරණු ලැබිය. කොස්සින්න සිට මිරිගම දක්වා මාර්ගය ඉදිකිරිමේ කොන්ත්‍රාත් ගිවිසුම 2015 අගෝස්තු මස 04 වැනි දින අත්සන්කර තිබුණි. චීනයේ ආනයන අපනයන බැංකුව සමග ණය ගිවිසුම අත්සන් කිරීම 2020 සැප්තැම්බර් මස දක්වා ප්‍රමාද විම නිසා මෙම මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සිදුවන්නේ 2020 සැප්තැම්බර් මාසයේ දිය. මෙම ව්‍යාපෘතියේ කටයුතු අතරමග නතරකරන විට ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය සියයට 34කි.
කොන්ත්‍රාත්කරු නිසි වැඩ සැලැස්මක් අනුගමනය කර නොතිබිම සහ උපදේශකයින්ගේ දුර්වල අධික්ෂණය ඉදිකිරිම්වල දුර්වල ප්‍රගතිය සඳහා බලපා තිබු බව මෙකි ව්‍යාපෘතිය සම්බන්දයෙන් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.
ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු නතරවිමත් සමග මාර්ගයේ ඇතැම් ස්ථානවල ඉදිකිරිම් සදහා හෑරු වළවල් ජලයෙන පිරි තිබුණි. එම ප්‍රදේශවල ජනතාවද පාරිසරික වශයෙන් ගැටලු රැසකට ලක්ව සිටිති. තවද නොව කොන්ක්‍රිට් වැඩවල කම්බි අනාරක්ෂිත ලෙස නිරාවරණය වි තිබුණි. මේ නිසා එම ප්‍රදේශවල ජනතාව අනතුරුදායක තත්ත්වයන්ට ලක්ව සිටිති.
කොන්ත්‍රාත් ගිවිසුමට අනුව මාර්ග ආරක්ෂාව සහ ව්‍යාපෘති ආරක්ෂණ සැලසුම් ක්‍රියාත්මක කර නොතිබුණි. බෝක්කු ඉදිකිරිම් දෙපස පස් පිරවීම සිදුකර නොතිබු අතර බෝක්කු ඉදිකිරීමේ කටයුතු අතරමග නවතා දැමිම නිසා සාමාන්‍ය ජනතාවට දැඩි බලපෑමක් එල්ල වී ඇත. මාර්ග ආරක්ෂණය සඳහා 2022 වර්ෂය තුළ පමණක් රුපියල් මිලියන 9.82ක ගෙවිමක් සිදුකර තිබුණි.
මේ වනවිට කොන්ත්‍රාත්කරුට අතුරු ගෙවිම් මගින් රුපියල් මිලියන 13266.87ක මුදලක් ගෙවා තිබුණි. එහෙත් කොන්ත්‍රාත්කරුට නිම කළ වැඩ සඳහා නොගෙවා ඇති අතුරු ගෙවිම් වටිනාකම රුපියල් මිලියන 40,347.75කි. කොන්ත්‍රාත්කරුට මෙම මුදල නොගෙවිම හේතුවෙන් 2022 වර්ෂයේ ජුනි මස 22 වැනිදින කොන්ත්‍රාත්කරු විසින් රුපියල් මිලියන 666.32 මුල්‍ය ගාස්තුවක් ඉල්ලා තිබුණි.
කොන්ත්‍රාත් කොන්දේසි වෙනස් කළ හැටි
කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි වලට අනුව කොන්ත්‍රාත්කරු විසින් කාර්යසාධන ඇපකරය තම පුද්ගලික වියදමින් ලබාගත යුතුය. එහෙත් එයට පටහැනිව ඒ සදහා වැඩ ප්‍රමාණ පත්‍රවල වෙනම ගෙවිම් අයිතමයක් ඇතුළත්කර එම අයිතමය යටතේ රුපියල් මිලියන 805.43ක් ව්‍යාපෘතිය මගින් ගෙවා තිබුණි. කොන්ත්‍රාත් කොන්දේසි වෙනස් කිරිම සඳහා අනුමැතිය ලබාගත යුතුය. තවද කොන්ත්‍රාත්කරුට වාසිදායක හා රජයට අවාසිසහගත කොන්දේසි කොන්ත්‍රාත් ගිවිසුම්වල ඇතුළත් නොකළ යුතුය. කොන්ත්‍රාත් ගිවිසුමට මෙම කොන්දේසි ඇතුළත් කළ නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර් දේශ කොට ඇත.
මාර්ගය ඉදිකිරිමේ දී පල්ලේවල නගරයට ආසන්නයේ කල්එළිය මැදගම්පිටිය මාර්ගය සැලසුම් කොට ඇත්තේ මධ්‍යම අධිවේගි මාර්ගයට ඉහළින් ගුවන් පාළමක් ඉදිකිරිමටය. මේ සදහා ඉඩම් පවරා ගැනිමද අවසන් කොට තිබුණි. කෙසේවුවද ගුවන් පාළම ඉදිකිරිම් සම්බන්දයෙන් එල්ලවු ජනතා විරෝධය හේතුවෙන් මාර්ගයේ මුලික සැලසුම් සංශෝධනය කිරිමට කටයුතු කරණු ලැබිය. මේ නිසා රුපියල් මිලියන 2.590ක අමතර පිරිවැයක් දැරිමට සිදුවි තිබු අතර මිට අදාළ වැඩබිම භාර නොදීම මත කොන්ත්‍රාත්කරු විසින් රුපියල් මිලියන 411.92 අමතර ගෙවිමක් හා දින 177ක දිර්ඝ කිරිමක් ඉල්ලා තිබුණි.
මෙම ව්‍යාපෘතිය සඳහා පුද්ගලික ඉඩම් කැබලි 5136ක් පවරාගෙන තිබු අතර පවරාගෙන ඇති රජයේ ඉඩම් කැබලි සංඛ්‍යාව 1220කි. ඉඩම් අතපත්කර ගැනීම වෙනුවෙන් වන්දි මුදල් ලෙස ගෙවා ඇති මුදල රුපියල් මිලියන 9,402.14කි. ප්‍රමාද පොලිය ලෙස රුපියල් මිලියන 1,016.54ක් ගෙවා තිබුණි. ඉඩම් අත්පත් කරගැනීම වෙනුවෙන් ඉඩම් හිමියන්ට රුපියල් මිලියන 88.23ක් සහ ප්‍රමාද පොලිය ලෙස රුපියල් මිලියන 331.87ක් ගෙවිමට නියමිතව තිබුණි.
-
තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය
තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය ද චීන එක්සිම් බැංකුවේ ණය මුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. මේ වනවිට මෙම ව්‍යාපෘතියද නතර වි ඇත. 2015 වර්ෂයේ දී වු ආණ්ඩු පෙරළියත් සමග ඇති වු ජනතා විරෝධයත් සමග ව්‍යාපෘතියේ වැඩ ආරම්භකිරීමට නොහැකිවිය.
කෙසේවුවද 2017 වර්ෂයේ දි නැවත මෙකි ව්‍යාපෘතිය ආරම්භ කිරිම සදහා චිනයේ EXIM බැංකුව සමග ණය ගිවිසුම් අත්සන් කරණු ලැබිය. 2018 වර්ෂයේ දි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයද ස්ථාපිත කරණු ලැබිය. නමුත් පාස්කු ප්‍රහාරයෙන් පසු කොන්ත්‍රාත්කාර සමාගම විසින් සිය කටයුතු නතර කිරිමට කටයුතුකරණු ලැබිය.
2020 වර්ෂයේ දී ව්‍යාපෘතියේ කටයුතු නැවත ආරම්භකරනු ලැබිය. මේ පිළිබඳ වාරිමාර්ග අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ 2020,2021 යන වර්ෂවල ව්‍යාපෘතිය සදහා ඉඩම් අත්පත්කරගැනිමේ කටයුතු සියයට 95ක් ද, මැනුම් හා සමික්ෂණ කටයුතු සියයට සියයක් අවසන් කොට ඇති බවය. තල්පිටිගල ජලාශ ව්‍යාපෘතියේ මුලික කටයුතු සියල්ල අවසන් කර ඉදිකිරිම් ඇස්තමේන්තුවෙන් සියයට 09ක පමණ ආසන්න ප්‍රමාණයක වැඩකොටසක් අවසන් කොට ඇති බව වාරිමාර්ග අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට තිබුණි.
තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය උමාඔය ව්‍යාපෘතියත් සමග ක්‍රියාත්මක කළ යුතු ඉතා අත්‍යවශ්‍ය ව්‍යාපෘතියකි. රට තුළ පවතින ආර්ථික හා මුල්‍ය දුෂ්කරතා හේතුවෙන් තල්පිටිගල ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකව අත්හිටවූයේය. මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිට 2023 මැයි මස 31 දින දක්වා කාලය තුළ රුපියල් මිලියන 610ක වියදමක් දරා ඇත..
-
ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය
ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතියද පසුගිය කාලයේ දැඩිලෙස කථාබහට ලක්වු ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ සැලසුම් සකස් කිරිම සඳහා පමණක් අවුරුදු 05කුත් මාස 04ක් ගතවී තිබු අතර ව්‍යාපෘතියේ සැලසුම් සකස් කිරිමේ කටයුතු වලින් සියයට 7.5ක ප්‍රමාණයක් තවදුරටත් නිමකළ යුතුව තිබුණි.
ගිං නිල්වලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2014 වර්ෂයේ නොවැම්බර් මස 05 වැනිදින වාරිමාර්ග අමාත්‍යංශය විසින් චිනයේ CAMEC සමාගම සමග ඇමරිකානු ඩොලර් 690,000,000 ක කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹ තිබුණි. ඒ සඳහා පුර්ව අත්තිකාරම් ලෙස කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 4.35ක් වු ඇමරිකානු ඩොලර් 29,989,000ක මුදලක් ( රුපියල් 4,011,054,982) අදාල කොන්ත්‍රාත් සමාගමට ගෙවිමට කටයුතු කරනු ලැබිය.
කෙසේවුවද යහපාලන රජය බලයට පත්වීමත් සමග ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට කටයුතු කරනු ලැබිය. ව්‍යාපෘතිය නිල්වලා ගංගාව ආශ්‍රිතව පමණක් සිදුකරණ ලෙස ආර්ථික කළමණාකරණ කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත්කොට තිබුණි.
එහෙත් අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරිමකින් තොරව ගිංගඟ හා නිල්වලා යන කොටස් දෙකම පිළිබඳ අධයනය කිරිමට කොන්ත්‍රාත්කරුවකු සමග ගිවිසුමකට එළඹ තිබුණි. මෙම ව්‍යාපෘතිය ආරම්භකොට දැනට වසර 09ක් ගතවි තිබේ. ඒ සඳහා දරා ඇති වියදම රුපියල් මිලියන 4,090කි. ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය සියයට 4.5කි.
තවද වසර 05 කාලයක් තුළ ව්‍යාපෘති කාර්යාලයේ කාර්යමණ්ඩල සදහා වැටුප් දිමනා හා අනිකුත් කටයුතු සදහා රුපියල් මිලයන 27ක මුදලක් වැයකොට තිබුණි. මෙම ව්‍යාපෘතිය සඳහා මේ වනවිට රුපියල් මිලියන 4,090ක මුදලක් වැයකරනු ලැබුවද ජනතාවට කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් ලැබි නොතිබුණි.
-
වයඹ මහ ඇළ ව්‍යාපෘතිය
වයඹ මහ ඇළ ව්‍යාපෘතියද වාරිමාර්ග අමාත්‍යංශය මගින් කරනු ලබන මහාපරිමාන සංවර්ධන ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 9978.48කි. මෙහි ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව 2020 වර්ෂයේ දි චිනයේ CAMEE-QMCG-JV නැමති විදේශිය සමාගමකට භාර දි තිබු අතර 2020 2024 යන කාලය තුළ ව්‍යාපෘතිය නිම කිරිමට සැලසුම්කොට තිබුණි.
කොන්ත්‍රාත් සමාගමේ කාර්යමණ්ඩල හිඟය, ඉදිකිරිම් උපකරණ නොමැතිවිම, දුර්වල වැඩබිම් කළමණාකරණය හේතුවෙන් වසර දෙකක කාලයක් තුළ ව්‍යාපෘතියේ ඉදිකිරිමේ ප්‍රගතිය සියයට 2.97ක් තරම් පහළ මට්ටමක පැවතුණි. මේ නිසා මෙම කොන්ත්‍රාත්තුව අවලංගු කිරිමට වාරිමාර්ග අමාත්‍යංශය මගින් පියවර ගෙන තිබුණි. ඒවනවිට කොන්ත්‍රාත් සමාගම වෙත පුර්ව අත්තිකාරම් ලෙස ලබා දි ඇති මුදල රුපියල් මිලියන 1,197.32කි. නිමකළ වැඩවෙනුවෙන් ගෙවා ඇති මුදල රුපියල් මිලියන 355.24කි. ඉදිරියේ දි මෙම කොන්ත්‍රාත්තුවේ පිරිවැය රුපියල් මිලියන 17604කින් ඉහල යා හැකි බවට ඇස්තමේන්තුකොට තිබුණි.
-
සෙසු ව්‍යාපෘති
චීනයේ එක්සිම් බැංකුවේ ණය අරමුදල් මත මධ්‍යම හා ඌව පළාත්වල මාර්ග හා පාළම් පුළුල් කිරිමේ සහ වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. කි.මි 64.31 දිග මාර්ග පුළුල් කිරිම සහ වැඩිදියුණු කිරිම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. ව්‍යාපෘතිය යටතේ පාලම් 13ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව ඇත. ණය ගිවිසුම අනුව ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රුපියල් මිලියන 12674කි. ඉන් රුපියල් මිලියන 10,774ක් චින ආනයන හා අපනයන බැංකුව මගින් ලබා දි ඇත.
ගම්පහ, අත්තනගල්ල, සහ මිනුවන්ගොඩ, ජල සම්පාදන ව්‍යාපෘති සදහා චින සංවර්ධන බැංකුව විසින් ණය ලබා දි තිබුණි. චින සංවර්ධන බැංකුව විසින් ලබා දුන් ණය වලින් රුපියල් මිලියන 18,887 ණය මුදලක් ව්‍යාපෘති කටයුතු සදහා යොදා නොගෙන එස්කෝ ගිණුමේ රඳවාගෙන ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
-
ණය ප්‍රතිව්‍යුගත කළේ යළි ණය ගන්න ද?
නතර වී ඇති ව්‍යාපෘති ආරම්භ කිරිම පිළිබද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකොරල කියන්නේ මෙවැනි කථාවකි.
“චිනය ලෝකයේ ගොඩක් රටවලට ණය දිලා තියෙනවා. චීනය ප්‍රධාන ණය දෙන රටවලින් එකක්. චීන එක්සිම් බැංකුවට අමතරව ව්‍යාපෘති සඳහා හන්ගෙරියානු එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 47ක්, ඉන්දියාවේ එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 871ක්, ඇමරිකා එක්සත් ජනපදයේ එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 40ක් ණය අරගෙන තියෙනවා. ඒ අනුව චීනයේ එක්සිම් බැංකුවෙන් තමයි අපි වැඩිම ණය මුදලක් අරගෙන තියෙන්නේ.
ණය ප්‍රතිව්‍යුහගත කිරිම කළේ ණය වල ධරණියතාවය පවත්වාගෙන යාම සදහාද ? නැතිනම් නැවත ණය ගැනිම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීමට ද කියා බැලිය යුතුයි. නැවත ණය ගැනීමට අවශ්‍ය පසුබිම් සකස් කිරගැනීමට තමයි ණය ප්‍රතිව්‍යුහගත කරලා තියෙන්නේ. නැවත ණය ගන්න පුළුවන් කියලා තර්ක ගෙනවා.
මගේ අදහස නම් ණය ප්‍රතිව්‍යුහගත කරලා ණය ගැනීමට අවශ්‍ය නැහැ. දිගින් දිගටම ණය ගැනීමට ක්‍රියා කළහොත් මේවා කවුද ගෙවන්නේ. ණය නොගෙවා ඉන්න 2028 දක්වා අපිට සහනයක් ලැබුනා.එක ලොකු ජයග්‍රහණයක්. නමුත් මේ අවස්ථාවේ දි කළ යුත්තේ පාරවල් හදන එක නෙවෙයි. ණය ගැනීම අවම මට්ටමක තියාගෙන දේශිය ආර්ථිකයට ශක්තිමක් කිරිමට කටයුතු කිරිමයි.
විදේශිය ණය වලින් කෙතරම් ප්‍රමාණයක් රටේ වත්කම් බිහිකරන්න දායක වෙනවාද? කෙතරම් ප්‍රමාණයක් කාගේ කාගේ සාක්කුවලට යනවාද කියලා අපි දන්නේ නැහැ.. විදේශ රටවලින් ණය ලැබෙන්නේ නැති නිසා සාක්කුවලට යන ප්‍රමාණය සැලකිය යුතු අයුරින් අඩුවෙලා තියෙනවා. මෙම ණය ව්‍යාපෘතිවල ආයෝජනය කිරිම තුළන් රටට වාසියක් අත්වේද කියන ප්‍රශ්නය මතුවෙනවා. විදේශ ණය අරගෙන ව්‍යාපෘති අරම්භකරන විට එම ව්‍යාපෘතිවලින් විදේශ විනිමය උපයාගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැතිව එම ව්‍යාපෘතිවලින් රුපියල් උපයලා වැඩක් නෑ.
මහාචාර්ය වසන්ත අතුකොරළ සදහන් කළේය







