අද (13) පස්වරු 2ට ශ්‍රී ලංකා බංගලාදේශ එක්දින තරගාවලිය ආම්භ වේ. ඒ චටෝග්‍රෑම් අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දී ය.
මීට පෙර එක්දින තරගාවලියක දී බංගලාදේශය හා ශ්‍රි ලංකාව හමුවන්නේ පසුගිය නොවැම්බර් 06 වැනිදා 2023 ලෝක කුසලාන තරගාවලියේ දී ය. ලෝක කුසලාන තරගාවලියේ 38 වැනි තරගය ලෙස එම තරගය පැවැත්වූයේ දිල්ලියේ දී ය.
එම තරගයේ දී චරිත් අසලංක ලකුණු 108ක් ලැබුවේය. පැතුම් නිශ්ශංක සහ සධීර සමරවික්‍රම ලකුණු 41 බැගින් ලැබූහ. ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ලකුණු 279ක ඉලක්කය බංගලාදේශ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලබා ගන්නේ පන්දු 53ක් ඉතිරිව තිබිය දී ය.
ශකීබ් අල් හසන් කළ ඉල්ලීමක් අනුව ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම ටයිම් අවුට් දැවී යෑමට ඈන්ජලෝ මැතිව්ස් ලක් වන්නේ මේ තරගයේ දී ය. තරගයේ 24 වැනි ඕවරයේ 2වැනි පන්දුවේ දී සධීර සමරවික්‍රම දැවී ගිය පසු එකම පන්දුවක්වත් නොයවා මැතිව්ස්ගේ කඩුල්ලත් බංගලාදේශය ලබා ගන්නේය. මේ දවා ගැනීම ක්‍රිකට් ලෝකයේ බරපතල විවේචනයකට ලක් විය. මැතිව්ස් තරගයෙන් පසු බංගලාදේශ කණ්ඩායම නිර්දය ලෙස විවේචනය කළේය.
දැන් ක්‍රිකට් පිටිය උනුසුම් කරන ටයිම් අවුට් අභිනයට පාදක වූ සිද්ධියෙන් පසු එක්දින තරගයක් සඳහා ශ්‍රී ලංකාව සහ බංගලාදේශය හමුවන්නේ අදය. එහෙත් සිද්ධියේ ප්‍රධාන චරිත දෙක වූ ශකීබ් අල් හසන් සහ ඈන්ජලෝ මැතිව්ස් මෙම එක්දින තරගාවලියට ක්‍රිඩා කරන්නේ නැත.
අද තරගය මල්ලව පොර තරගයක් තරමට උණුසුම් වනු ඇතැයි ක්‍රීඩා ලෝලින්ගේ බලාපොරොත්තුවය.
ශ්‍රි ලංකාව මේ වසරේ සිම්බාබ්වේ 2-0ක් සහ ඇෆ්ගනිස්ථානය 3-0ක් ලෙස එක්දින තරඟාවලි දැනටමත් ජයග්‍රහණය කර ඇත. ඔවුන් ඉන්දියාවේ දී තමන් අත්විඳි අවානවේ දුර්වර්ණ ඉරණමින් ක්‍රමයෙන් මිදෙමින් ඇති ආකාරය අන්තර්ජාතික විචාරකයෝ දකිති.
සිය රට තුළ දී එක්දින තරගාවලියකින් බංගලාදේශය පරාජය කිරීම පහසු නැති අතීතයක් තිබිණි. නමුත් ඒ කතාව දැන් ඉවරය. මින් පෙර සිය මව්බිමේ දී පැවති ඇෆ්ගනිස්ථාන සහ , නවසීලන්ත තරගාවලි දෙකම ඔවුන් පරාදය. එමෙන්ම මේ වනවිට ඔවුන් ලංකාව හමුවේ විස්සයි 20 තරගාවලියකුත් සිය මව් බිමේ දී පරාදය.
බංගලියන් අද තරගයට එන්නේ මේ පීඩනයත් සමගය. එහෙන්ම මෙම එක්දින තරගාවලියත් පරාජය වුවහොත් පිට පිට සිය මව්බිමේ දී එක්දින තරගාවලි 3ක් පරාජය වෙමින් 2011 දී අත් විඳි තියුණු බිඳවැටීම ඔවුන් මත පතිත වනු ඇත.