රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන සඳුදා සංකේත වෛද්‍ය වර්ජනයකට සූදානම් ව බවට වාර්තා වන අතර මෙම වැඩවර්ජනය දැනට උණුසුම් වී ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ක්‍රියා මාර්ග දියාරු කිරීමේ අරමුණින් රජයේ ඉහළ අංශවල අවශ්‍යතාව අනුව සැලසුම් කරන ලද එකක් බව විශ්වාස කටයුතු වෛද්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සැලසුම රජයේ ඉහළම කිහි දෙනකු සහ මේවනවිට රජයට පක්ෂපාතීව කටයුතු කරන වෘත්තීය සමිතිවලට සම්බන්ධ කිහිප දෙනකු පමණක් එක්වී සැලසුම් කර ඇති බවත් මෙම වර්ජනය තුළින් වෛද්‍ය වැටුප වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉල්ලා සිටීමටත් නියමිත බව සඳහන් වේ. ඒ සමඟම මෙම වර්ජනය හමුවේ පවතින රටේ තත්ත්වය මත එම ඉල්ලීම් ලබා දිය නොහැකි බවට රජය විසින් ප්‍රකාශ කිරීමට නියමිත බව සඳහන් වේ.
මෙම ප්‍රකාශය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවනත වීමක් සිදුවීමට නියමිත අතර වෛද්‍යවරුන් එලෙස සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රකාශය මත අවනත වීම මත සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ එකමුතුව විසින් මේ වනවිට කරන ලද වර්ජන විරෝධතා මත නගා අති ඉල්ලීම් හමුවේද එවැනිම නිහඬ වීමක් සඳහා ඔවුන් යොමු කරවීමට මෙම වර්ජනය සැලසුම් කර ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
මේ අතර ඊයේ (17) රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති කොළඹ විශ්ව විද්‍යාලයයේ උපකුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු වෘත්තීය සමිති නියොජිතයන් පිරිසක් ජනාධිපතිවරයා හමුවී පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එහිදීද එකඟතාව පැමිණ ඇත්තේ වෙනත් වෘත්තීන් හි වැටුප් තලවලට ගැටලුවක් ඇති නොවන පරිද්දෙන් සෞඛ්‍ය සේවයේ පවතින වැටුප් අර්බුද විසඳන ලෙසය. එසේම එහිදී පවතින මුදල් ත්ත්වයද සලකා අදාළ තීන්දු ගැනීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇත.







