රන්ජන් පරණවිතාන
ජැක්සන් මා හඳුනා ගත්තේ 1980 පමණ මල්ටිපැක්ස් හිදීය.එකල සම වයසේ ගැටවරයන් වූ අප දෙදෙනා සතියකට වරක් දෙවරක් මුණ ගැසෙන්නේ කොටහේනේ බ්ලූමැන්ඩල් පාරේ පිහිටි මල්ටිපැක්ස් කාර්‍යාලයේය.
පිටුවක ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයක් ලොකු රෝල් කරගත් ආර්ට්වර්ක් අපේ අතේය.
ජැකා එන්නේ යුනිවර්සිටි ලෙක්චර්ස් යන ගමන් ය. එකල ඉතා ජනප්‍රිය මල්ටිපැක්ස් ප්‍රකාශන වූ රංකැටි,මීපැණි, සූකිරි ළමා පුවත් පත් වලට අප අඳිනු ලැබූ ආට් වර්ක් කැමිලස් මහතාගේ අධීක්ෂණයෙන් පසු භාර දෙන්නේ සේනක ටයිටස්ටය. සේනක යනු ජැක්සන්ගේ ලොකු අයියාය.
ඒ අවදියේම මා ස්වර්ණ ට “මැම්බර් හාමු” චිත්‍ර කතාව අඳිද්දී ජැකා සුහද ට “යකාට බයනම්” චිත්‍රකතාව ඇන්දේය.
ඉන්පසු වේදිකාවේ, සිනමාවේ හා ටෙලි නාට්‍යයන්හි වැඩ කාරයකු වූ ජැක්සන් පසු කලෙක නිවේදකයකු, තීරු ලිපි රචකයකු බවටද පත් වූ අයුරු කියවුණත් ඔහුගේ චිත්‍ර කතා ශිල්පයේ එකල තිබූ හැකියාව බොහෝ අය නොදන්නා කරුණකි.
ඉංග්‍රීසියෙන් ලියන තම නම කොටස් කර සිංහලට පෙරලා සකස් කළ “පනාපුත්‍ර කුහුඹු පැණියා” නම තම තීරු ලිපියට යෙදූ අයුරුද අපූරුය. ( Jak= පනා Son = පුත්‍ර Ant = කුහුඹු honey = පැණියා )
මල්ටිපැක්ස් යුගයෙන් පසු මට ජැක්සන් හමු වන්නේ මා කළුතර පුරහලේ සංවිධානය කළ ඊ.එම්.ඩී.උපාලිගේ “මෙතනින් මාරුවෙනු” හා ජයන්ත චන්ද්‍රසිරිගේ “අත්” වේදිකා නාට්‍ය අතර තුරය.
ඉන්පසුව ඔහු හා සමීප ඇසුරක යෙදෙන්නට මට නොහැකි විය.එහෙත් ක්ෂේත්‍ර ගණනාවකම ඔහුගේ අසම සම හැකියාවන් නිවසේ සිටම බලා සිටියෙමි.ජැකාගේ දේශපාලනය හේතුවෙන් ඇතැමුන්ට ඔහු නොදිරවූ නමුත් මාස 14 ක් මුළුල්ලේ නිසොල්මනේ දෙලොවක් අතර හුන් සමයේ සමාජ ජාලා ඔස්සේ ඒ ඇතැමුන් කරන ලද අපහාස උපහාස නම් ජුගුප්සාජනකය.
ජැක්සන් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩකාරයෙකි. ඔහුට සම විය හැකි අයකු නැවත බිහි විය නොහැකි තරම් ය
.
මාස දහහතරක් දෙලොවක් අතර සිට ඔබ යා යුතු ලොව තෝරා ගත් ගැටවර වියේ හඳුනා ගත් මගේ මිතුර
ඔබට මොක් සුව…!
( මුහුණු පොතෙනි)