පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායමක් විසින් එල්ල කරනු ලබන අනිසි බලපෑම් හා හිරහැර හේතුවෙන් පළමු වසරේ සිසුන්ට සති දෙකක කාලයක් හදිසියේ නිවාඩු ලබාදීමට පීඨ මණ්ඩලය තීරණය කර ඇත.
දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායමක් පළමු වසරේ සිසුන්ට අධ්‍යාපන කටයුතුවල නිරත වීමට ඉඩනොදී දිගින් දිගටම ඔවුන්ගේ දේශපාලන කටයුතුවලට එක්වන ලෙස සිදුකරනු ලබන බලපෑම් සැලකිල්ලට ගෙන පීඨ මණ්ඩලය අදාළ තීරණය ගත් බව දැන ගන්නට තිබේ.
මේ සම්බන්ධව පළමු වසරේ සිසුසිසුවියන් විද්‍යුත් තැපෑල ඔස්සේ පාලනාධිකාරියට පැමිණිලිද ඉදිරිපත් කර ඇත.
අදාළ ගැටලු සම්බන්ධව පසුගිය 08 වැනි දින ශිෂ්‍යයින් සමඟ සාකච්ඡා කර එකඟාවකට පැමිණීමට පීඨ මණ්ඩලය තීරණය කර තිබුණත් සිසුන් එම සාකච්ඡාව වර්ජනය කර තිබේ.
පසුව එදින පස්වරු 1.00 ට රැස්වූ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති ඇතුළු පීඨ මණ්ඩලය පළමු වසර සිසුන්ට දෙසතියක නිවාඩුවක් ලබාදී එම කාලයේදී දෙවන,තෙවන හා සිව්වන වසර සිසුන්ගේ අධ්‍යයන කටයුුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබෙන බව වාර්තාවෙයි.
මේ අනුව සියලුම විභාග,දේශන,ප්‍රායෝගික පුහුණු වැඩසටහන් හා අවසන් වසරේ සිසුන්ගේ සායනික කටයුතු දෙසතියක කාලයක් සඳහා නොපැවැත්වෙනු ඇත.
පළමු වසරේ සිසුන් දෙසතියක නිවාඩුව අවසන් කර පැමිණි පසු ජ්‍යෙෂ්ඨ සිසුන් පෙර හැසිරීම ම ප්‍රදර්ශනය කළහොත් අධ්‍යයන කටයුතු තව දුරටත් සිදු නොකරන බව පීඨ මණ්ඩලය සිසුන්ට දැනුම් දී තිබේ.
හිදිසියේ ලබාදුන් නිවාඩුවෙන් පසු පළමු වසරේ සිසුසිසුවියන් නිවෙස්වලට කැඳවාගෙන යාමට ඔවුන්ගේ මව්පියන් රථවාහන වලින් පැමිණි අවස්ථාවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ සිසුන් එම වාහන ධාවනයටද බාධා එල්ල කර තිබෙන බව දැන ගන්නට ඇත.







