ජපානයේ මැතිවරණ රැලියක් අමතමින් සිටි, එරට හිටපු අග්රාමාත්ය ෂින්සෝ අබේ හට වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ. නාරා හි රැලියක් අමතමින් සිටියදී ඔහුට පිටුපසින් වෙඩි ප්රහාර එල්ල වී තිබෙන අතර උණ්ඩය පපුව හරහා ගමන් කර තිබේ.
වෙඩි ප්රහාරය හේතුවෙන් හිටපු අග්රාමාත්යවරයා සිහි විසඥ තත්ත්වයට පත්ව තිබෙන අතර ඔහු ඉක්මණින් රෝහල්ගත කර තිබේ. තවමත් ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි ආරංචියක් නොමැති බවට ප්රධාන කැබිනට් ලේකම් හිරොකසු මත්සුනෝ සඳහන් කරයි.
වෙඩි ප්රහාරය එල්ල කළ බවට සැකපිට 42 හැවිරිදි පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. දුම්රිය ස්ථානයක් ආසන්නයේ පැවැත්වුණු මෙම මැතිවරණ රැලියේදී එක්වරම අබේ දෙසට වෙඩි ප්රහාර දෙකක් එල්ල වී තිබෙන අතර ආරක්ෂක අංශ විසින් ඔහු වහා බිම දිගා කරවා ගන්නා අයුරු වීඩියෝ පටවල සටහන්ව තිබේ.
එහෙත් ඒ වන විටත් එක් වෙඩි උණ්ඩයක් ඔහු වම් පස හෘදයටත්, තවත් එකක් බෙල්ලටත් ඇතුල් වී ඇත. උදෑසන 11.30ට පමණ මෙම වෙඩි ප්රහාරය එල්ල වී තිබේ. ජපානයේ දිගු කාලයක් අගමැති ධුරය දැරූ අබේ දෙවරක්ම එම ධුරයට තේරී පත් වූ අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් 2020 දී ඔහු සේවයෙන් ඉල්ලා අස් විය.
තුවක්කු භාවිතය සම්බන්ධයෙන් දැඩි නීතිරීති තිබෙන හා දේශපාලන ප්රචණ්ඩක්රියා ඉතාමත් දුර්ලභ රටක් වන ජපානයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනයා දැඩි ලෙස කම්පා වී ඇත.