ජපානයේ ටයිසෙයි නැමැති ආයතනයෙන් මෙරට කැබිනට් ඇමතිවරයෙක් පගාවක් ඉල්ලා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (05) පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය.
එම සිදුවීම දැනගත් ජනාධිපතිවරයා බොහෝ සේ කලබල වූ බවත් පගාව ඉල්ලූ ඇමතිවරයා කව්රුන්දැයි ජනාධිපතිවරයාගෙන්ම විමසා දැන ගන්නා ලෙසත් පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා පැවසීය.
ටයිසෙයි යනු 1987 දී ආරම්භ කරන ලද ජපන් සංස්ථාවක් වන අතර එහි ප්‍රධාන ව්‍යාපාර ක්ෂේත්‍රයන් වන්නේ ගොඩනැඟිලි ඉදිකිරීම්, සිවිල් ඉංජිනේරු විද්‍යාව හා දේපළ වෙළඳාම් සංවර්ධනයයි. 2020 වසරේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ බහු මට්ටමේ පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා ටයිසෙයි සමාගමට ඩොලර් මිලියන 564ක කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබිණි.
මේ රට ගොඩ ගැනීමට අග්‍රාමාත්‍යවරයා තමාගෙන් විසඳුම් ඇසූ බවත් ඊට කළ යුත්තේ තමන්ගේ කැබිනට් මණ්ඩලයේ දූෂිත, කොමිස් ගන්නා, පගා ගන්නා ඇමතිවරුන් පන්නා ගැනීම බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර කටාර් දේශය අමනාප කරගෙන යලිත් එහි ගොස් පිං කැට හොලවමින් ආධාර ඉල්ලන බවට අග්‍රාමාත්‍යවරයාට චෝදනා කළේය. කටාර් චැරිටි එක ත්‍රස්තවාදී අරමුදලක් බව දක්වමින් එරටින් තෙල් ගැනීම ප්‍රතික්ෂේප කොට මැදපෙරදිග රටවල් අමනාප කර ගත් බවත් දැන් තෙල් නොදෙන්නේ මන්දැයි විමසන බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය
එහිදී තවදුරටත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ද කිවේය.
“ ගරු කතානායකතුමනි, මේ රටේ දූෂණ වංචා හොරකම් සියල්ලක්ම නතර කරන්නට ඕනේ. මම ගරු අගමැතිතුමාගෙන් අහනවා. ජනාධිපතිවරයා බොහෝ ලෙස කලබල උනාලු දැනට කැබිනට් එකේ ඉන්න ඇමතිවරයා ජපානයේ ටෙයිසෙයි කියන කොම්පැනියෙන් පගාවක් ඉල්ලලා. මම අහනවා මෙහෙම දූෂිත ආණ්ඩුවක් තුළ රට ගොඩනගන්න පුළුවන් ද?. එහෙනම් අග්‍රාමාත්‍යතුමා අපෙන් ඇහුවා විසඳුම්. කරුණාකරලා තමන්ගෙ කැබිනට් මණ්ඩලයේ දූෂිත ක්‍රියාකාරකම් කරන, කොමිස් ගන්න, පගා ගන්න අය ඉවත් කිරීම. ටෙයිසෙයි කම්පැනියෙන් පගාවක් ගත්තෙ කවුද? ජනාධිපති තුමාගෙන් ම අහගන්න. “









