ශ්‍රී ලංකාවට ණය ලබාදුන් විශාලතම ණය හිමියා වන, චීන ආනයන සහ අපනයන බැංකුවේ (එක්සිම්) බැංකුවේ සභාපති ‘වූ ෆුලින්’ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ වීඩියෝ සාකච්ඡාවක් පෙරේදා (10) පවත්වා ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
එහිදී ශ්‍රී ලංකාවේ ණය අර්බුදය පිළිබඳව දීර්ඝ වශයෙන් දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කෙරුණු බව ද චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා තවදුරටත් දෙපාර්ශවය අතර සහයෝගීතාව හා අදහස් හුවමාරු කර ගැනීම් සිදු කිරීම පිළිබඳව ද මෙහිදී එකඟ වී ඇති අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම හා තිරසාර සංවර්ධනය වෙනුවෙන් තවදුරටත් උපකාර කිරීම චීන එක්සිම් බැංකුව පොරොන්දු වී ඇති බව ද තානාපති කාර්යාලය පවසයි.
කෙසේ වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට ඉල්ලුම් කර ඇති ඩොලර් බිලියන 2.8ක විස්තීරණ මූල්‍ය පහසුකම ලබා ගැනීමේ පූර්ව සුදුසුකමක් වන චීන එක්සින් බැංකුවට පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කවර එකඟතාවයකට පැමිණියේද යන්න පිළිබඳව සඳහන් වන්නේ නැත.
ආර්ථික පර්යේෂණ වාර්තා සඳහන් කරන්නේ මේ වන විට චීන එක්සිම් බැංකුවට ශ්‍රී ලංකාව ඩොලර් බි. 4.3ක ණයක් ලබා දීමට ඇති බවයි.







